March 28, 2024

ඇමැති සීතාට තවත් වගකීමක් - UGC යටතේ තිබූ ව්‍යාපෘතියක් හදිසියේම ගලවයි

මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වූ පුරවර විශ්වවිද්‍යාල (City Universities) ව්‍යාපෘතිය එම කොමිෂන් සභාවේ ද අනුදැනුමකින් තොරව හදිසියේම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්‌යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් පත්‍රය පසුගිය සතියේ නිකුත් කර තිබේ.

මෙම විශ්වවිද්‍යාල සඳහා ඉඩම් වෙන් කර ගැනීමේ කටයුතු ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කරන ලද අතර, පුරා වසරක පමණ කාලයක සිට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 14 දෙනෙක් යොදවා අවශ්‍ය සැලසුම් ද සකස් කර තිබිණි. විශ්වවිද්‍යාල පිහිටුවන ප්‍රදේශයන්හි පවතින කර්මාන්ත හා සේවා ස්ථාන පිළිබඳ අධ්‍යයනය කර ඊට අනුකූලව රැකියාභිමුඛ පාඨමාලා සැකසීම ද මෙම මහාචාර්යවරුන්ට පැවරී තිබිණි.

ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව ද ප්‍රතිපාදන කොමිෂන් සභාව පැසසුමට ලක් කර තිබිණි.

මෙම ව්‍යාපෘතියට අනුව දිස්ත්‍රික්ක දහයක දී විශ්වවිද්‍යාල දහයක් ස්ථාපිත කෙරේ. එම දිස්ත්‍රික්කවල පදිංචි උසස් පෙළ සමත් වන සිසුන් ඊට ඇතුළත් කර ගැනීමට සැලසුම් කෙරිණි.

එක් විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රුපියල් කෝටි තුන්සියයක ඇස්තමේන්තුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සකස් කර තිබිණි. විශ්වවිද්‍යාලයකට සිසුන් දහසක් බැගින් සිසුන් දසදහසක් ඇතුළත් කර ගැනීමටද සැලසුම් කර තිබිණි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය වන්නේ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියයි.

Rate this item
(0 votes)