April 25, 2024

මාස හයක් දෙන්න අපිට - එපාජය නැගිටින හැටි අපි පෙන්නන්නං - රංගෙ බණ්ඩාර

පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය හා එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් නැවත එජාපය හා එක්වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණඩාර මහතා පවසයි.

පොදුජන පෙරමුණ හා එක්ව සිටි පාක්ෂිකයන්ද නැවත එජාපය හා එක්වෙමින් සිටින බවත්, පසුගිය මැතිවරණයේදී ලැබූ පරාජය අකාමකා දමා නැවත ශක්තිමත්ව නැගී සිටීමට පක්ෂය සූදානම් බවත් ලේකම්වරයා පවසයි.

ඉදිරි මාස හයක කාලය තුළ එජාපයේ නැගී සිටීම ජනතාවට දැකගත හැකි වනු ඇති බව අවධාරණය කරන රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ නියත වශයෙන්ම මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ එක්සත් ජාතික පක්ෂය බවය. ඉදිරි වසර කිහිපය තුළ ඒ සඳහා පක්ෂය සූදානම් කරන බවද ඔහු පවසයි.

රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ එජාප ක්‍රියාකාරීන් සමග ඊයේ (24) මහනුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය හේතුවෙන් කොවිඩ් වසංගතය මේ වනවිට රටපුරා ව්‍යාප්තව ඇති බවය. සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා නම් ජනතාව බේරා ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුවෙන්ද ආසාදිතයන් සැළකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබීම හේතුවෙන් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා පත් කිරීම ප්‍රමාද කිරීම පක්ෂයට වාසනාවක් බවද නියෝජ්‍ය නායකයා පවසයි.

Rate this item
(1 Vote)