April 19, 2024

ජැටිය දෙන්නේ අත යට කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් - බෙංගමුවේ නාලක හිමිගෙන් අනාවරණයක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට හෝ වෙන සමාගමකට ලබා දීමට උත්සහ කරන්නේ විශාල කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් විය හැකි බව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ පැවසූහ. 

අපේ රටේ බොහොමයක් දේශපාලකයින් සහ නිලධාරීන් කොමිස් ලබා ගැනීම සඳහා මෙවැනි දේවල් මීට පෙරත් සිදුකර තිබෙන බව උන්වහන්සේ පැවසුවේය. 

දැනුත් කිරීමට උත්සහ කරන්නේ එවැනි දෙයක් ද යන්න බරපතල සැකයක් මතුවන බව උන්වහන්සේ කියාසිටියේය. 

''තමන්ගේ අතට ලැබෙන කොමිෂන් එක බලාගෙන මේ වගේ ජාතික අපරාධ, ජාතික සම්පත් විදේශ රටවල කොම්පැණිවලට පැවරීම නොකළ යුතුයි. එහෙම කරන්න ගියොත් එහෙම ආණ්ඩුවට ඇතිවන බරපතලම මහජනතා විරෝධය ඉදිරියේ ආණ්ඩුවට හිට ගන්න බැරිවෙයි. මේ වන විට නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාවක් ගොඩනගා ඇති අතර ජාතික සම්පත් රැකගැනීම සඳහා එවැනි ජාතික සභා ඇතිකරගත යුතුයි." බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලහ. 

එවැනි  තත්ත්වයකත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දුන්නොත් ආණ්ඩුවට බරපතල ප්‍රශ්නයක් මතුවන බවද උන්වහන්සේ කියා සිටින ලදී. 

''ආණ්ඩුවල තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි ආණ්ඩු බලය ගත්තහම ඔවුන් හිතනවා මේ රට ඔවුන්ට අයිතියි කියලා. ඒ ගොල්ල්ලො දැනගන්න ඕනේ ඒ අයට රට අයිති නැහැ. ඔවුන් රටේ භාරකාරයෝ. භාරකාරයන්ට රට එක එක්කෙනාට ඕනේ විදිහට දෙන්න, විකුණන්න බැහැ. මේ රටේ ඉතිහාසයේ සිටම සම්මත වෙලා තියෙන්නේ රජය කියන්නේ රටේ භාරකාරයෝ. අයිතිකාරයෝ කියල හිතාගත්තහම තමයි ඔය වගේ දේවල් කරන්න යන්නේ."

ඉන්දියාවට අවශ්‍ය වන්නේ අපේ රට නගා සිටුවීම නොව ඉන්දියාව නැව් ගෙන්වා  ගැනීමට  බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරන ලදී. 

එම නිසා 49%ක් නොව කුමනාකාරයකින්වත් නැගෙනහිර ජැටිය විදෙස් සමාගමකට ලබා නොදිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය. 

''ඉංජිනේරුවෝ,වෘත්තීය සමිති,වරාය සේවකයෝ හැමදෙනාම කියනවා අපිට පුළුවන් මේක හදන්න කියලා. එහෙම කියද්දී,ප්‍රසිද්ධියේ එවැනි බරපතල වගකීමක් දරන්න කැමති වෙද්දී ඇයි මේක මේ විදිහට කරන්න යන්නේ. විකුණන්න හෝ ආයෝජකයෙක් සම්බන්ධ කරගන්න යන එකේ වැඩක් නැහැ.''

ආණ්ඩුව තේරුම් ගත යුත්තේ එක එක රටවල් සතුටු කරීම නොව තමන්ගේ රටේ මහජනතාව සතුටු කිරීම බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේය.

Rate this item
(0 votes)