April 20, 2024

පැණි කතා මගෙන් අහන්න එපා - එන්නත ගැන අහන්න : මම උත්තර දෙන්නම්

ශ්‍රී ලංකාවට හොද ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබෙන හෙයින් කොරෝනා එන්නත දීම අභියෝගයක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 

කොරෝනා වෛරසයට එරෙහිව හැකි ඉක්මණින් එන්නත ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරිය කියා සිටියේය. 

ඊයේ (22) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව  පැවසුවේ. 

''තාම එන්නත ලබා දීලා තියෙන්නේ ලෝකයේ රටවල් කිහිපයයි. හැබැයි ඒ සඳහා සම්පූර්ණ සූදානම තියෙනවා. හැකි ඉකමණින් අපි එන්නත ලබා දෙනවා. එන්නත ලබා දෙන පළමු අවස්ථාව මෙය නෙවෙයි ලංකාවේ. ලංකාවේ අවුරුදු 50කට වඩා ඉතාමත්ම හොඳ ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. අපේ දරුවන්ට එන්නත්කරණය කරලා 99%ක ආවරණයක් තියෙන ඉතාමත් සාර්ථක වැඩසටහන් කරලා තියෙනවා. අපි පෝලියෝ රෝගය තුරන් කරලා තිබෙනවා. සරම්ප තුරන් කරලා තිබෙනවා. රුබෙල්ලා  තුරන් කරලා තිබෙනවා. එහෙම සාර්ථකව කටයුතු කරපු රටක්. මේ කොරෝනා වක්සින් එක දෙන එක අපිට ලොකු අභියෝගයක් නෙවෙයි.'' 

පළමුවන අදියර ලෙස පෙබරවාරි මැද වන විට එන්නත්කිරිම ආරම්භ කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. 

''දැනටමත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඒ අවශ්‍ය කරන තොරතුරු ටික ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබිලා තියෙනවා. අවශ්‍ය කරන පර්යේෂණ කරමින් අනුමැතිය සඳහා කටයුතු කරනවා. අපිට කොවැක්ස් පහසුකම හරහා 20%ක් නොමිලේ ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ 55%ක විතර ජනගහණයක් සඳහා මේ එන්නත ලබා දීලා කොරෝනා රෝගයෙන් ආරක්ෂා කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම සැලසුම් සකස් කරනවා.'' යනුවෙන් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැහැදිලි කරන ලදී.

මේ අතර කොරෝනා පැණිය සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ ''පැණිය එක්ස්ෆයර්ඩ්නේ පැණිය ගැන ආයුර්වේදයෙන් අහන්න මගෙන්  අහන්න එපා'' යනුවෙනි. 

එහෙත් එම පැණිය බෙදා ඇති බවට මෙහිදී අමාත්‍යවරියගෙන් මාධ්‍යවේදියෙකු පෙරළා විමසුවේය. 

''ඒකට මම පිළිතුරු දෙන්නේ නැහැ, මගෙන් වැක්සින් එක ගැන අහන්න මම ඒකට උත්තර දෙන්නම්.'' යනුවෙන් අමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය. 

Rate this item
(0 votes)