April 20, 2024

"කොවිඩ් එන්නත ගැන ඇත්ත කියන්න - බොරු බලාපොරොත්තු දෙන්න එපා" - රනිල්

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියේදී සෙසු රටවල් සමඟ ගත් කළ එම ගිවිසුම් අත්සන් කිරීමට මෙතරම් ප්‍රමාද වීම ගැන මාධ්‍ය ආණ්ඩුවෙන් නොවිමසන බවත් තමන් ඒ ගැන පුදුම වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (21) සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වන තෙක් ආණ්ඩුව කොවිඩ් 19 පාලනය සඳහා වැඩපිළිවෙලක් සදා නොමැති බව මෙහිදී එජාප නායකයා කියාසිටියේය.

මාධ්‍යයත් නොයෙක් කරුණු ගැන කියමින් හිඳින නමුත් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. 

''කවුරු හරි ආණ්ඩුවෙන් අහනවද කොතැනින්ද මේවා ගෙනෙන්නේ. කොයි රට එක්කද ගිවිසුම තියෙන්නේ. කොවැක්ස් සංවිධානය එක්ක ගිවිසුමක් තියෙනවද. ඇමතිතුමිය නොයෙක්වර පාර්ලිමේන්තුවේදී කිව්වා කොවැක්ස් සංවිධානය එක්ක ගිවිදුම තියෙනවා කියල. මේ අවුරුද්දේ ඒවා සපයන්න ඩොලර් මිලියන 25,000ක් ඕනෑ. මම හිතන්නේ නැහැ කොවැක්ස් සංවිධානය ඒ වෙනුවෙන් තුනෙන් එකක්වත් තියෙනවා කියල. දැනුම් දීලා තියෙන විදිහට පළමු වටයේ එන්නේ 3%ක් පමණයි. දෙවෙනි වටයේ එනවා 17%ක්. අපි වාසනාවන්තයෝ නම් මේ අවුරුදේ අවසානයේ එනවා. නැත්නම් එන අවුරුදට ලැබෙනවා. සමහරු කියන්නේ මේක අවසන් කරන්න තව අවුරුදු දෙක තුනක් යනවා කියාලා.'' 

තත්ත්වය මෙසේ තිබියදී මාස තුන හතරකින් එන්නත දී මේ ප්‍රශ්නය අවසාන කළ හැකි බවට බොරු බලාපොරොත්තු නොදෙන ලෙසද වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට අවධාරණය කරන ලදී.

Rate this item
(0 votes)