March 29, 2024

18 ට වැඩි අයට හමුදා පුහුණුව ලබාදීම සුරංගනා කතාවක් වගේ - ෆොන්සේකා, වීරසේකර යළි ගැටෙයි

වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුව ලබාදීමට යෝජනා කරන්නේ හමුදා පුහුණුව සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැතිව බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාගේ මෙම යෝජනාව සුරංගනා කතාවක් ලෙස සැළකිය හැකි බවයි ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් සඳහන් කළේය.

වයස අවුරුදු 18 ත් 26 ත් අතර තරුණයන් පමණක් මිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් එක් අයෙකුට හමුදා පුහුණුව ලබාදීම සඳහා පමණක් ලක්ෂ 7 හමාරකට ආසන්න ප්‍රමාණයක් වැයවන බවත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

ලක්ෂයක පමණ පිරිසකට හමුදා පුහුණුව ලබාදීම සඳහා පමණක් කෝටි 7500 ක පමණ මුදලක් වැයවන බව පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා පවසන්නේ එවැනි වියදමක් දැරීමට තරම් රටේ ආර්ථිකය ශක්තිමත් නොවන බවය.

ඇමතිවරුන් සුරංගනා කතා නොකියා වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බව මන්ත්‍රීවරයා පවසයි.

Rate this item
(0 votes)