April 20, 2024

‘පැණි ධම්මික’ අත්අඩංගුවට ගැනීමට යයි - වෛද්‍යවරයෙකුට පහරදී නිවාස අඩස්සියට අරන්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික කපු මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි කියන වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මගින් කෑගල්ල පොලිසිය වෙත යොමුකර ඇති අතර ඒ අනුව එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

කෑගල්ලේ ධම්මික කපු මහතාගේ නිවෙසට පැමිණි වෛද්‍යවරයෙකු ඇතුලු කණ්ඩායමකට පහර දීමක් සිදුව ඇති බවට පේරාදෙණිය පොලිසියට අදාල වෛද්‍යවරයා පැමිණිල්ලක් කර තිබේ.

අදාළ පැමිණිල්ලේ සදහන් වන ආකාරයට පසුගිය දිනෙක පේරාදෙණියේ දන්ත වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා හමුවීමට එම නිවෙසට ගොස් තිබේ.

එහිදී ධම්මික බණ්ඩාර කපු මහතා විසින් වෛද්‍යවරුන්ට බැන වැදීමට පටන් ගෙන ඇති අතර පසුව වෛද්‍යවරයා එම සිදුවීම සිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමට පියවර ගෙන ඇත.

නමුත් මෙම සිදුවීම පටිගත කරන ආකාරය ධම්මික කපු මහතාගේ ආරක්ෂාවට සිටින පිරිස විසින් දැකීමෙන් අනතුරුව මෙම පහර දීම සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිවෙස තුළදී අදාළ වෛද්‍යවරයා ඇතුලු පිරිසට පහර දීමෙන් පසු අදාළ වීඩියෝව මකා දමා පැය කිහිපයක් පමණ ඔවුන් නිවාස අඩස්සියේ තබා ගැනීමටද පිරිස කටයුතු කොට ඇත.

එමෙන්ම කෑගල්ල පැත්ත පළාතේ යළි නොඑන ලෙසට ඔවුන් වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායමට තර්ජනය කොට ඇති බවද පැමිණිල්ලේ සදහන්ය.

කෙසේවෙතත් මෙම කණ්ඩඩායම පසුව පේරාදෙණියට පැමිණ මෙම පහරදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

එම පැමිණිල්ලට අනුව පේරාදෙණිය පොලිසිය කෑගල්ල පොලිසියට මේ පිළිබදව දැනුම් දීමෙන් පසු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද දැනගන්නට තිබේ.

Rate this item
(1 Vote)

Related items