April 25, 2024

බන්දුල සහ විමල් චම්පිකගේ නව දේශපාලන සන්ධානයට යයිද? ආණ්ඩුව ගැන අසතුටු වූ අවස්ථා තිබෙන බව ඇමැති ගම්මන්පිල කියයි

ආණ්ඩුව ගැන කළකිරීමෙන් පසුවන අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන තිදෙනා හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සමග නව දේශපාලන සන්ධානයකට යන බවට පළවන වාර්තා පිළිබඳ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පිළිතුරු දී තිබේ.

තමා හෝ තමන් සමීපව ඇසුරු කරන විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරුන් කිසිවිටෙක පාඨලී චම්පික රණවක සමඟ කිසිම දේශපාලන සංවාදයකට ගොස් නැති බවත් ඉදිරියේදී එවැනි සංවාදයකට නොයන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ රාත්‍රී හිරු නාලිකාවේ පැවැති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

විමල් වීරවංශ අමාත්‍යවරයා තමාගේ අතිශය පෞද්ගලික මිත්‍රයෙකු බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා තමාගේ ගුරුවරයෙකු බවත් එනිසා එම දෙදෙනා ගැන තමාට සහතිකයක් ලබා දිය හැති බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව විසින් තමාට සැලකීම ගැන තෘප්තිමක් බවත් දෙවැනි පාර්ලිමේන්තු දිවියේදී ප්‍රබල අමාත්‍යාංශයක් ලෙස බලශක්ති කැබිනට් ඇමැතිධූරය ලැබී ඇති බවත් කැබිනට් සම ප්‍රකාශක ලෙස කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ අනු කමිටු නියෝජනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ පසුගිය වසර එකහමාර තුළ ආසන්න කාලය තුළ සතුටු වූ අවස්ථා මෙන්ම අසතුටු වූ අවස්ථා තිබෙන බවත් තමාගේ අරගලය බොහෝ විට අභ්‍යන්තරව තියාගෙන සිටින බවත් නමුත් අභ්‍යන්තර අරගලයේදී තමන්ගේ අපේක්ෂිත ඉලක්කයට යා නොහැකි අවස්ථාවේදී අරගලය පිටාර ගලන අවස්ථා පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

20වන සංශෝධනය ආණ්ඩුව ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන් සංශෝධන 10ක් ඉදිරිපත් කළ බවත් එය අභ්‍යන්තරයේ කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේදී අරගලය පිටතට ගෙන ආ බවත් පසුව එම සංශෝධන 10ක් 9ක්ම ඉටු කර ගත් බවත් එක් සංශෝධනයක් නව ව්‍යවස්ථාවට ඇතුලත් කරන බවට පොරොන්දුවක් ගෙන එම අරගලය නිමාවට පත් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 19 January 2021 12:18