April 20, 2024

හදනවා නම් මේ වගේ දරුවෙක් හදන්න - හෝරාවක් තුළ රටක් වසඟ කළ ශුක්රා මුනව්වර්

එක හෝරාවක් තුළ මුළු රටක් වසඟයට ගත් මුස්ලිම් ජාතික ශුක්රා මුනව්වර් දියණිය මේ වන විට ශ්‍රී ලාංකීය මෙන්ම විදේශගත ලාංකිකයන්ගේ වීරවරිය බවට පත්ව තිබෙන්නේ මුහුණුපොතේ ඒ පිළිබඳ අපූරු සටහන් ද එක්කරමිනි.

ඊයේ (17) සිරස ලක්ෂපති වැඩසටහනට එක්වෙමින් ශුක්රා මුනව්වර් පුරා පැයකට ආසන්න කාලයක් තුළ ප්‍රශ්න15න් ප්‍රශ්න 12කට නොදැවී පිළිතුරු දෙමින් ලබන 23 සෙනසුරාදා ඉතිරි ප්‍රශ්නයන්ට ද පිළිතුරු දීමට පැමිණීමේ අරමුණින් නික්ම ගියේ මුළු රටක් වසඟයට පත් කරවමිනි.

උසස් පෙළ ශිෂ්‍යාවක් වන ශුක්රා මුනව්වර් තම පියා දැඩි සේ රෝගාතුරව එක්තැන්ව සිටිද්දීත් දෙමාපියන්ට බරක් නොවී online හරහා අධ්‍යාපනය ලබන්නට ලැප්ටොප් එකක් ගැනීමට සිහිනයක් සිතේ තබාගෙන ලක්ෂපතියට ගොඩ විය.

අවිද්‍යාවට පිළිතුරු ලෙස විද්‍යාවත්, ආගම් හා ජාතිවාදයට එරෙහිව සංහිඳියාවත්, මිත්‍යාවට එරෙහිව ප්‍රඥාවත් විචාරශීලී බවත් අවදි කරමින් තාර්කික විචක්ෂණ බුද්ධියක් විදහා දක්වමින් ඔබ දැක්වූ කුසලතාවය ඉතා අගයමු. ගිනිගෙන ඇවිලෙන මේ ශ්‍රී ලාංකික මාතෘභූමියට තවත් මලාලා යුසුප්සායි කෙනෙකු වන්න. එසේ තබා තිබු එක් මුහුණු පොත සටහනක සඳහන්ය.

මනුස්සකම, කළගුණ සැලකීම, අධිෂ්ඨානය, බලාපොරොත්තුව, උත්සාහය, මහපොළොවට පරිසරයට ආදරය කිරීම ආදී මෙකී නොකී සෑම දෙයකින්ම සමන්විත ඔබ වැනි දරුවන් රටට අවශ්‍ය බව තවත් එක් මුහුණු පොත සටහනක තිබේ.

දරුවෙක් හදනවා නම් ඇය වගේ හදන්න යැයි සඳහන් තවත් එක් මුහුණුපොත් සටහනක් තබා තිබෙන අතර එහි ඇය පිළිබඳ ඉතා හරබර රසවත් කවි පෙළක් ද ඇතුළත් කොට තිබේ.

එම කවිපෙළ පහතින්,

දරුවෙක් හදනවා නම් ඇය වගේ හදන්න...
ශුක්රා මුනව්වර්
ඇය උගත්ය...දැනුමෙන් ප්රභාමත්ය...
පොතපත කියවා ඇත්තීය...
බස හසුරුවන්නට ඉගෙන ගෙන ඇත්තීය...
ගමේ රටේ ප්රශ්න ගැන දැනුම්තේරුම් ඇත්තීය...
සල්ලිය බාගෙ හිඟමුත් මුහුණේ සිනහව ඇත්තීය..
ලෝකය දිනන්නට දිරිය නොමඳව ඇත්තීය...
ඇතිහැකි එකා ගැන තරහවක් නැත්තීය...
මට මගේ දූ හැදෙන්නට ඕනෑ එහෙමය...
මේ මල් මිට
එහෙව් දියණියක් තැනූ අම්මාටය...
එ් දියණියට හැදෙන්නට ඉඩ දුන් තාත්තාටය...
ආදරණීය මිත්රවරුනි,
ඔබ ඔබේ දරුවන්ට දුන් දායාද මේවාද?
ඔබ සිංහලද දෙමළද මුස්ලිම්ද කියා නැත...
ඈ ඔබට පෙන්වන්නී සරල මනුස්ස ගුණදහම්ය...
නිදහසේ දිරියෙන් වැඩෙනා මලක රුවගුණය...
පොත පත කියවා හිතන්නට හැකි හදක විසිතුරය...
ඒ දේවල් ඉගෙන ගන්න...
ශුක්රා මුනව්වර්ගෙන් ඉගෙන ගන්න...
දරුවෙක් හදනවා නම් ඇය වගේ හදන්න...
ලක්මාල් කුලසේකර

Rate this item
(7 votes)
Last modified on Monday, 18 January 2021 11:37