April 19, 2024

පළාත් සභා පාලනය ආණ්ඩුකාරයාට දී තිබෙන මේ ක්‍රමය වැරදියි - පොහොට්ටු සංසදයෙන් චෝදනා

"පළාත් සභා ක්‍රමයට වසර 32 ක් වෙනවා. දැනට ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පමණයි එහි නැත්තේ. අද තනි ආණ්ඩුකාරයෙක් තමයි පළාත් සභා පාලනය කරන්නේ. ඔහු තමයි මුදල් අනුමත කරන්නේ. වියදම් කරන්නේ. ඒ ක්‍රමය වැරදියි" යයි දකුණු පළාත් සභාවේ හිටපු සභාපති කේ.ඒ. සෝමවංශ මහතා අටමස්ථානාධිපති හිමියන් හමුවේ ප්‍රකාශ කොට තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පළාත් සභා මැතිවරණයක් ඉල්ලා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සංසදය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බාරයක් වීමෙන් අනතුරුව සෝමවංශ මහතා මෙම අදහස් පළ කොට තිබේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා මෙරටට පටවපු බව ඇත්ත බවද පෙන්වා දී ඇති සෝමවංශ මහතා පවතින කොවිඩ් වසංගත තත්වය පහ වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව අටමස්ථානාධිපති හිමියන් හමුවේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

මෙම අවස්ථාවට පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති කාංචන ජයරත්න මහතා මෙන්ම උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්.රංජිත් ඇතුළු එම සංසදයේ නියෝජිතයන් පිරිසක් ද සහභාගි වී තිබේ.

Rate this item
(0 votes)