March 08, 2021

භාෂා තුනකින්ම මැති සභය දෙවනත් කරන කවුද මේ රාසමානික්කම්?

අයවැය විවාදයට එක් වූ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මැති සබය දෙවනත් කරමින් කතා කළේය. ඔහු කතාව පටන් ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. අලංකාරවත් ලෙස ‘කඩුව’ හසුරුවමින් හතර වටේට නෙළුෑ ඔහු, සිංහල ජනතාව ගැන කතා කරද්දී ව්‍යක්ත ලෙස සිංහලෙන් කතා කළේය. දෙමළ ජනතාව ගැන කියද්දී දෙමළෙන්ද කතා කළේය. ආණ්ඩුවට රිදෙන්නට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කතා කරන විට ඊට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු බාධා කරන මුත් එදා මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කරන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත. ත්‍රෛභාෂාවෙන්ම කතා කළ ඔහුගේ කතාවෙන් මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම මෝහනයට පත්වූවාක් මෙනි. ඒ තරමට ඔහුගේ කතාව ලස්සනය මේ කතාවෙන් පසු ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තෝය.

මුළු රටේම අවධානය දිනාගත් කවුද මේ තරුණ මන්ත්‍රී?

ඔහු ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම්ය. ඔහු දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

දෙමළ සන්ධානය යනුවෙන් කී විට දකුණේ අයට මැවෙන්නේ යහපත් චිත්‍රයක් නොවේ. ඒ, දකුණ හා උතුර අතර දශක ගණනාවක් පුරා තිබෙන අනවබෝධය හේතුවෙනි. හැරත් ඉංග්‍රීසියෙන් හා දෙමළ බසින් කතා කරන ඔවුන් කියන්නේ කුමක්දැයි භාෂා ප්‍රශ්නය හේතුවෙන් දකුණේ ජනතාවට එතරම් අවබෝධයක් නැත. එවැනි පසුබිමක රාසමානික්කම් ගැන බොහෝ දෙනෙක් මේ දිනවල උනන්දුය. රාසමානික්කම් මන්ත්‍රීවරයාගේ පවුල් පසුබිම දේශපාලනයට සම්බන්ධය. ඔහු මඩකලපුව දෙමළ වලව් පැලැන්තියට නෑකම් කියන්නෙකි. 1952 සිට 1970 දක්වා පද්දිරිප්පු ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.එම්. රාසමානික්කම් මන්ත්‍රීවරයාගේ මුනුපුරාය. එස්.ජේ.වී. චෙල්ලනායගම් ෆෙඩරල් පක්ෂය නිර්මාණය කිරීමේදී ඊට නැගෙනහිර පළාතෙන් හයිය දුන්නේ එස්.එම්. රාසමානික්කම් මන්ත්‍රීවරයාය. එකල උතුරේ දෙමළ ජනතාවගේ වීරයා චෙල්ලනායගම්ය. නැගෙනහිර දෙමළ ජනතාවගේ වීරයා රාසමානික්කම්ය. එකල ෆෙඩරල් පක්ෂයේ නායකත්වය වසරින් වසර උතුරට සහ නැගෙනහිරට දෝලනය වූවේය. නැගෙනහිර නායකත්වයට එකල හිමිකම් කියුවේ රාසමානික්කම් මන්ත්‍රීවරයාය. සීයාගේ උරුමයෙන් දේශපාලනය වැලඳගත් රාසපුත්‍රම් රාසමානින්කම් මන්ත්‍රීවරයා මෙවර මඩකලපුවෙන් පාර්ලිමේන්තුවට ආවේ මනාප තිස්තුන් දහසක් දිනා ගෙනය.

වත්මන් පාර්ලිමේන්තු​වේ විපක්ෂය නියෝජනය කරන ළාබාලතම මන්ත්‍රීවරයා ඔහුය. අසූව දශකයේ රාසමානික්කම් මන්ත්‍රීවරයාගේ දෙමාපියන් දිවි ගෙව්වේ මඩකලපුවේය. වෛද්‍යවරයකු වූ ඔහුගේ පියා රස්සාව කළේ මහඔය ඉස්පිරිතාලේය. එකල ඔහු මහඔය සිංහල ජනතාව අතර ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකි. මන්ත්‍රීවරයාගේ මව ගුරුවරියකි. පසුව ඈ රස්සාවෙන් ඉවත් වී ගෙදර දොරේ වැඩ කටයුතු බලා කියා ගත්තාය. අසූව දශකයේ මුල භාගයේ ජාතිවාදී කලකෝලාහල හේතුවෙන් 1987 වනවිට ඔහුගේ සියලු ඥාතීන් මඩකලපුවෙන් ඉවත්ව වැල්ලවත්තේ පදිංචියට ආවෝය. ඊට හේතු වූයේ පවුලේ ඥාතියකු ඉන්දීය සාම සාධක හමුදාව විසින් ඝාතනය කරනු ලැබීමය. ශානික්‍යන් මන්ත්‍රීවරයාගේ දෙමාපියන් මඩකලපුව අතහැර වැල්ලවත්තේ පදිංචියට ආවේ 1990 සැප්තැම්බර් මස මුල් සතියේය. ඉන් දෙසතියකට පසු වැල්ලවත්තේදී රාසපුත්‍රම් රාසමානික්කම් උපත ලැබුවේය.

‘‘මඩකලපුවේ අපේ ගෙදරත් ගිනි තිබ්බා. ඉන්පසු අම්මා, තාත්තා සරණාගත කඳවුරක සති දෙකක් ජීවත් වුණා. ඉන්පසුව තමයි කොළඹට ආවේ’’ ශානික්‍යන් මන්ත්‍රීවරයා දෙමාපියන් තමාට කියා දුන් අතීතය සිහිපත් කළේ එලෙසිනි.

ඔහුගේ එකම සහෝදරිය ගණකාධිකාරීවරියකි. කොළඹ ඉපදුණත් මන්ත්‍රීවරයාගේ දෙමාපියන් ඔහු ඇතුළත් කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයටය. ඒ වනවිට පියා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය. සිය සහෝදරියද මහනුවර ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලත් නිසා දෙමාපියන් තමන්ද ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ඇති බව මන්ත්‍රීවරයා කියන්නේය. පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ අධ්‍යාපනය අවසන් වන තුරු ඔහු සිප්සතර හැදෑරුවේ එම විද්‍යාලයෙනි.

‘‘මගේ පාසල් ජීවිතය හරිම සුන්දරයි. මම අධ්‍යාපනය ලැබුවේ සිංහල භාෂාවෙන්. දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය හදාරන්න තිබුණත් දෙමාපියන් සිංහල භාෂාවට තමයි යොමු කළේ. ඒ කාලේ සිංහල හා ඉංග්‍රීසි භාෂා හොඳින් ඉගෙන ගත්තා. මම සීයා වගේම කථිකත්වයට දක්ෂ වුණේ පාසලින් ලැබුණු ආභාෂයෙන්. පාසලේ කථික තරග, විවාද තරගවලට මම බය නැතිව ඉදිරිපත් වුණා. පහ වසර දක්වා බුද්ධාගමත් ඉගෙන ගත්තා. ගාථා කටපාඩම් කරන්න තිබෙන නිසා බුද්ධාගම ඉගෙන ගන්න එක නතර කළා. පාසල් ජීවිතයේ අමතක නොවන පාඩම් ගොඩක් තියෙනවා. ඒවා දැන්ම කියන්න තරුණ වැඩියි. තව වසර විස්සකින් විතර කියමු’’ මන්ත්‍රීවරයා පාසල් දිවිමග සිහිපත් කරමින් ප්‍රකාශ කළේ සිනාසෙමිනි.

පාසල් කාලයේ යහළුවන්ද සිහිපත් කිරීමට ඔහු අමතක කළේ නැත.

‘‘ගොඩක් හිටියේ මැති ඇමැතිවරුන්ගේ දරුවන්. මාතලේ රංජිත් අලුවිහාරේගේ පුතා මගේ හොඳ යාළුවෙක්. සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ පුතා, ඩඩ්ලි සිරිසේනගේ පුතා, හබරාදූව ප්‍රාදේශීය සභා සභාපති ඩිල්ෂාන් විදානගමගේ මගේ හොඳ යාළුවෝ. මම සිංහල, දෙමළ, මුස්ලිම් යහළුවෝ හොඳට ආශ්‍රය කරලා තියෙනවා’’ ඔහු කී‍වේය.

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ඔහු, එහිදී සදර්න් ක්වින්ස්ලන්ස් විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය දිනා ගැනීමට සමත් වූවේය.

ඔස්ට්‍රේලියාවේදී උසස් අධ්‍යාපනය ලබා එහි රැකියාවක් කරමින් සිටි ඔහු යළි මව්බිමට පැමිණියේ 2013 වසරේය. ඒ, සිය මුත්තනුවන් වූ එස්.එම්. රාසමාන්නිකම්ගේ සියවැනි උපන් දිනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය සූදානම් කර තිබූ උත්සවයකට සහභාගි වීමටය. ඒ ගමන ඔහුගේ ​දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය විය. සිය මුත්තනුවන් ගිය අඩිපාරේ නොගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු විසි දෙකකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට සිටි නායකයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඔහුට මඩකලපුව ‘පද්දිරිපු’ ආසන සංවිධායක ධුරය පිරිනැමුවේය. ඔහුගේ පියාගේ ආසනයද වූ නිසා දේශපාලනය කිරීමට පහසු විය.

‘‘ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ හොඳ දෙයක් කරයි කියා බලාපොරොත්තුවෙන් තමයි මම දේශපාලනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරාගත්තේ. රටේ පැවති ගැටලු, ආර්ථික සංවර්ධනය, දහතුන් වැනි ව්‍යවස්ථාවට ඔබ්බට ගිය විසඳුමක් දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. සුබදායී දෙයක් වෙයි කියලා තමයි හිතුවේ’’ මන්ත්‍රීවරයා දේශපාලනයේ ළාබාලතම අවධිය සිහිපත් කළේය

නමුත් සිය බලාපොරොත්තු කඩවූ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉතාම කනගාටුවෙනි. ‘‘2013 වසරේ සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ අපට දේශපාලනය කරන්න සිදුවුණේ කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අයත් එක්ක. මැර දේශපාලනය, වැලි බලපත්‍ර ගෙන කරන ජාවාරම් ඔවුන් කළ නිසා ඒ දේශපාලනයට මම කැමති වුණේ නැහැ, මට ගැළපෙන්නෙ නැහැ. මම ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් දැනුවත් කළත් අපට කීවේ ඔවුන් එක්ක වැඩ කරන්න කියලයි. මම කනගාටුවෙන් හිටියේ. 2015 වසරේ මැතිවරණයටත් මම වැඩ කළා. නමුත් 2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු සමග දේශපාලනය කළා. 2018 වසරේදී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආයුබෝවන් කිව්වා. 2018 පළාත් පාලන මැතිවරණයට පෙර දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ගත්තා’’ මන්ත්‍රීවරයා සිය දේශපාලන ගමන්මග සිහිපත් කළේය.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ද උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කැපවුණේ නැහැ. නමුත් මම 2015 මහ මැතිවරණයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණා. එම පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ එකම අපේක්ෂකයා මමයි. අනෙක් අය පිල්ලෙයාන්, අතාවුල්ලා තමයි ඉදිරිපත් කළේ. නමුත් ජයගන්න බැරි වුණා. 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් තමයි පාර්ලිමේන්තු එන්න පුළුවන් වුණේ. මම මැතිවරණ ව්‍යාපාරයේදි කාටවත් බොන්න දුන්​නෙ නෑ, කන්න නම් දුන්නා.’’

දේශපාලනයට පිවිසීමේදී තමන්ට ජීවත් වීමට අවශ්‍ය මිල මුදල් වගා කිරීමෙන් සොයා ගැනීමට ඔහු සමත් වූවේය.

‘‘මම මඩකලපුවේ අපේ පාරම්පරික ඉඩම්වල වගා කළා. මිරිස්, පැපොල් වගේ දේවල් වගා කළා. ලංකාවේ දේශපාලනඥයන් දේශපාලනයෙන් වියදමට සල්ලි හොයනවා. නමුත් මම දේශපාලනයෙන් මුදල් හොයන්න සූදානම් නැහැ. ඒක තමයි අපේ සීයගේ ආදර්ශය. සීයා දේශපාලනය කරලා මැරෙන කොට දේපොළ පවා විකුණලා තිබුණා. සත පහක් දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. සීයා තමයි මම කැමති දේශපාලනඥයා. මමත් යන්නේ ඔහුගෙ අඩිපාරේ’’ මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඇතැම් දෙමළ දේශපාලනඥයන් දකුණේ සිංහල ජනතාව අතරද ජනප්‍රිය ය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්ම බිහිවූ ලක්ෂ්මන් කදිරගාමර් එවැනි ජනප්‍රිය දේශපාලනඥයෙකි. ඒ ආකාරයට ඔබත් කදිරගාමර් කෙනෙක් වී දකුණේ සිංහල ජනතාවගේ කැමැත්ත දිනා ගන්න කැමති නැද්දැයි මම ශානික්‍යන් මන්ත්‍රීවරයාගෙන් විමසුවෙමි.

‘‘ඔහු ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක්. උතුරු නැගෙනහිර තරුණයන් අවි ගත්තේ ඇයිද කියලා ඔහු හොඳට දන්නවා. එම ප්‍රශ්නය විසඳන්න ඔහුට කටයුතු කරන්න තිබුණා. දේශපාලන විසඳුමක් දෙන්න තිබුණා. එහෙම නොකිරීම නිසා කදිරගාමර් අසාර්ථකයි. ඔහුට ලොකු දෙයක් කරන්න තිබුණා’’ ඒ ඔහුගේ උත්තරයයි. දෙමළ ජාතික සන්ධානයේ වත්මන් නායකයා වනනේ ආර්. සම්බන්ධන්ය. ඔහුගෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ අනාගතය ගැන මන්ත්‍රීවරයා දරන්නේ මෙවන් අදහසකි.

‘‘වරින් වර කාලයෙන් කාලයට නායකයන් බිහිවෙනවා. සම්බන්ධන් මහතාගෙන් පසු කවුරු නායකත්වයට පත්වෙයිද කියා දන්නෙ නැහැ. මටත් සුදුසුකම් තියෙනවා. නායකත්වයට වඩා පක්ෂය ශක්තිමත් කරන්න ඕන. අපි වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. උතුරු නැගෙනහිර ජනතාව පළාත් සභා මැතිවරණයේදී අපට විශාල ඡන්ද සංඛ්‍යාවක් දෙයි කියලා විශ්වාසයක් තිබෙනවා’’ ඒ මන්ත්‍රීවරයාගේ මතයයි.

දෙමළ ජාතික සන්ධානය සෑම මැතිවරණයකදීම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් ඡන්ද ගන්නෙ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය ගැනීමට බව කියමිනි. නමුත් එම ප්‍රශ්නය මෙතෙක් විසඳී නැත.

‘‘දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට තවත් ජන කොට්ඨාසයකින් විසඳුමක් ඉල්ලා සිටීමත් අපරාධයක්. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් අපට උරුම දෙයක්. බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවෙන් යන විට දෙමළ ජනතාවගේ ගැටලුවටද විසඳුමක් දුන්නේ නම් මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඉන්දියාව සමග කතා කරන්න ඕන. නමුත් තවත් රටකින් දෙන විසඳුමකට වඩා රජයෙන් නිවැරදි විසඳුමක් දිය යුතුයි’’ ඒ ඔහුගේ ස්ථාවරයයි.

(අරුණ)

Rate this item
(0 votes)