April 20, 2024

එජාපයේ තව පිරිසක් කරූ සමඟ - නව ව්‍යාපාරය 26 වැනි දා එළිදකී

කරු ජයසූරිය මහතා නායකත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමඟ එක්වී කටයුතු කිරිම සම්බන්ධයෙන් ඊයේ (17) එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පැවැත්වූ සාකච්ඡාව සාර්ථක අවසන් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නිලතල සම්බන්ධයෙන් පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකර ගෙන තිබෙන හිටපු අමාත්‍යවරයෙකු වූ රවි කරුණානායක මහතා සමග නවීන් දිසානායක හා අර්ජුන රණතුංග යන හිටපු අමාත්‍යවරුන් ද ලක්ෂ්මන් විජේමාන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද එම සාකච්ඡාවට එක් වී තිබේ.

කරුණානායක මහතා උප නායකකම ප්‍රතික්ෂේප කොට මහලේකම් ධූරය ඉල්ලීම මත වික්‍රමසිංහ මහතා සමඟ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගෙන තිබෙන අතර නවීන් දිසානායක මහතා හා අර්ජුන රණතුංග මහතා ඔවුනට ලැබුණු ජාතික සංවිධායක ධුරය හා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය මෙතෙක් භාරගෙන නොමැත.

එම සාකච්ඡාවේදී ආණ්ඩුවට එරෙහි මත දරණ ආගමික නායකයින් මෙන්ම  සිවිල් ක්‍රියාකාරිකයින් ද සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයට එක් කර ගැනීමට තීරණය කොට තිබේ.

හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයත් සමඟ එක්ව නව දේශපාලන පෙරමුණක් ගොඩනැගීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම එළඹෙන 26 වැනි දින සිදුකිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.

Rate this item
(0 votes)