March 29, 2024

"ඔය කියන විදිහේ දෙයක් වුණේ නැහැ - මම මෙහෙකරු ඇරලවන්න රත්නපුරේ ගිහින් හිටියේ" - පාදෙණිය

තමන්ව නිරෝධායනයට ලක්කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිවසට පැමිණි මොහොතේ තමන් රත්නපුරය බලා ගොස් සිටි බවත් මේ වනවිට තමන් යළි නිවසට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි. 

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වශයෙන් ඒ මහතාව නිරෝධායනයට ලක්කිරීම සඳහා පෙරේදා (13) රාත්‍රියෙහි සහ ඊයේ උදෑසන ඒ මහතාගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ මහතාව සම්බන්ධ කරගත නොහැකිවීම පිළිබඳ පළව තිබුණු පුවත් සම්බන්ධයෙන් ඊයේ (14) රාත්‍රියේදී ප්‍රතිචාර දක්වමිනි.

"PHI මහත්තයා එන වෙලාවේ මම කොළඹින් පිට තමයි ගිහිල්ලා හිටියේ. අපේ ගෙදර මෙහෙකරුවා මාස 6කින්වත් ගෙදර ගිහින් තිබුණේ නෑ. ඒ පුද්ගලයාව බස් රථයකින් ගෙදර යවපුවාම යම්කිසි විදියකින් රෝගය පැතිරීමට අවදානමක් තිබෙන නිසා මම මගේ වාහනයෙන් රත්නපුරට ගිහින් ඇරලවලා ආවා. ඉතිං ඒ අතරතුර තමයි මේ කියන PHI මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සෙ දැන් මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම ගියේ මගෙ වාහනයෙන්මයි. මග රැඳීසිටීමක් සිදුකරලා නෑ. 15 උදේ මගේ PCR පරීක්ෂණයක් කරනවා කිව්වා. එතෙක් මම ගෙදර ස්වයං නිරෝධායනය වෙලා ඉන්නවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

Rate this item
(0 votes)