April 25, 2024

මහපොළ ඔන්ලයින් ලොතරැයිය හරහා කෝටි 67 ක වංචාවක්

මහපොළ මාර්ගගත (ඔන්ලයින්) ලොතරැයිය අලෙවි කිරීමෙන් උපයන ලද රුපියල් හැට හත් කෝටි තිස් ලක්ෂයක මුදලක් අතරමැදි පුද්ගලයකු වංචා කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(කෝප් කමිටුව) හමුවේ අනාවරණය වී ඇත.

මහපොළ භාරකාර අරමුදල සිය මාර්ග ගත ලොතරැයිය අලෙවි කර ඇත්තේ මෙම අතර මැදි පුද්ගලයා හරහාය. ලොතරැයි අලෙවියෙන් ඔහු ඉපයූ මුදල මහපොළ භාරකාර අරමුදල වෙත 2016 වසරේ සිට මේ දක්වා ලබාදී නැත.

මේ පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කර පරීක්ෂණයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්. භද්‍රානි ජයවර්ධනට උපදෙස් දී ඇත.

එමෙන්ම මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම්වල සුරැකුම්පත් ගනුදෙනුවලින් 2015 සහ 2016 යන වර්ෂවලදී ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි දහයකට අධික අලාභයක් සිදුව ඇතැයි කෝප් කමිටුව හමුවේ හෙළිවී තිබේ.

ඒ අනුව මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙල්ත් සිකියුරිටිස් සංස්ථාව මගින් සිදුකර ඇති අක්‍රමිකතාවන් පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙසට කෝප් සභාපතිවරයා වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

2017 වර්ෂයේදී නැෂනල් වෙල්ත් සංස්ථාවේ සිදුකර ඇති ආයෝජන උපයෝගී කොට ගෙන කළ ගනුදෙනුවලින්ද රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක අලාභයක් සිදුවී තිබෙන බවද පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට මහත් වූ අලාභයක් සිදුව ඇති බව පෙන්වාදී ඇත.

Rate this item
(0 votes)