March 29, 2024

"ගෝඨාභය ජනපති කළේ විශ්වාසයක් ඇතිවයි.. දේශපාලන අම්බරුවන්ට නටන්න ඉඩදී නිහඬව ඉන්න නොවෙයි" - විමල්ගෙන් සැර කතාවක්

"මේ විදියේ තර්ජන කරන දේශපාලන අම්බරුවන්ට නටන්න ඉඩදී නිහඬව ඉන්න නොවෙයි මේ රටේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය ගොඩනැඟුණේ" යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (06) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

"69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් ජනාධිපති ධුරයට පත් කරනු ලැබුවේ, ඒ වගේම මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නේ, ‘මද්‍රසා පාසල්, අන්තවාදී ඇඳුම් භාවිතය වැනි ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන සියලු මාර්ග වසා දමා මෙරටින් එම අන්තවාදය මුලිනුපුටා දමයි’ කියන විශ්වාසය ඇතිවයි. අසාත් සාලි මේ ආකාරයට ඉන්දීය මාධ්‍ය හරහාත් තර්ජනය කිරීමක් සිදු කළා. එදා එළියට ආවේ දිවුරුම් පෙත්සමක් ද සමගයි. අද යළිත් මේ ආකාරයට ‘වන්දි ගෙවන්න සිදු වේවි’ කියමින් තර්ජනය කරනවා. මේ විදියේ තර්ජන කරන දේශපාලන අම්බරුවන්ට නටන්න ඉඩදී නිහඬව ඉන්න නොවෙයි මේ රටේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය ගොඩනැඟුණේ.

පොලිස්පතිතුමන් ඇතුළු බලධාරීන්ගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා, ‘ඉහත ආකාරයට අන්තවාදයට උඩගෙඩි දෙන අසාත් සාලි වැනි සියලු දේශපාලන නිගණ්ඨයන් වහාම අත්අඩංගුවට ගන්න’ කියා. ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත් මේ අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස් අත්අඩංගුවට ගත යුතුයි. රටේ නීතියට අභියෝග කරන්න සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට තර්ජනය කිරීමට කිසිදු පුරවැසියෙකුට අයිතියක් නැහැ. මේ පිරිස්වලට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දී නිහඬව සිටිනවා නම් එය ලැබුණු ජනවරමට පටහැනියි. ඒ නිසා අපි අපේම ආණ්ඩුවෙන්, ජනාධිපතිතුමන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලනවා, මිනිය බදාගෙන මේ රට මිනී කනත්තක් කිරීමට දගලන අන්තවාදීන්ට තවදුරටත් කටමැත දෙඩවීමට ඉඩ නොදී මේ රටේ නීතිය බලාත්මක කරන්න කියා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)