March 29, 2024

SF ලොක්කා එක්ක සිටි පෙම්වතිය ගැන පොලිසියට ප්‍රබල සැකයක්! පොලිසියට කියූ දෙය වෙනස් කරමින් උසාවියට කී දේ මෙන්න

December 26, 2020

‘‘ජිම් එකේ සිට එස්.එෆ්. ලොකූ හෙවත් ඉරෝන් රණසිංහ සමග නිවසට යාම සඳහා තමා මෝටර් රථයෙන් දහයියාගම දෙසට එමින් සිටින අතරතුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී එක්වරම වෙඩි ශබ්දයක් ඇසුණා. ඒත් සමග එස්.එෆ්. ලොකූගේ බෙල්ල කඩා වැටුණා’’ යැයි ඉරෝන් රණසිංහගේ පෙම්වතිය බව කියන තිලිණි නදීෂා වීරසිංහ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉරෝන් රණසිංහට වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේ ඔහු පදවමින් සිටි මෝටර් රථයේ සිටි තිලිණි නදීෂා වීරසිංහ මේ බව පැවසුවේ මෙම ඝාතන සිද්ධිය පිළිබඳව පැවැති මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් ඇය තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.

‘‘අපි ජිම් එකේ සිට එන අතරතුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී වෙඩි ශබ්දයක් ඇසුණා. එම වෙඩි ශබ්දය ඇසෙනවාත් සමග එස්.එෆ්. ලොකූගේ බෙල්ල පැත්තකට කඩා වැටුණා. පසුව අවට සිටි පිරිසගේ සහය ඇතිව මෝටර් රථයෙන් එළියට ගෙන ත්‍රිරෝද රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගියා. එස්.එෆ්. ලොකූ මියගොස් ඇති බව රෝහලේදී දැන ගත්තා. අපි ජිම් එකේ සිට මෝටර් රථයෙන් නිවසට එන අතරතුර අප ගමන් කරමින් සිටි මෝටර් රථය පිටුපසින් කිසිවෙකු ලුහුබඳිනවා දැක්කේ නැහැ. එමෙන්ම මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද කියා මා දැක්කෙත් නැහැ.’’

එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහගේ පෙම්වතිය බව කියන තිලිණි නදීෂා වීරසිංහ යන අය අධිකරණයට ලබාදුන් මෙම සාක්ෂියේ සඳහන් කරුණු සහ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඇය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට මීට පෙර ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් කරුණු එකිනෙකට පරස්පර බව පොලිසිය ප්‍රකාශ කරයි.

මුලින් පොලිසියට ඇය ලබාදී ඇති ප්‍රකාශයෙන් එස්.එෆ්. ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳවද තොරතුරු ඇය විසින් පවසා ඇති බවද පවසන පොලිසිය මෙලෙස පොලිසියට සහ අධිකරණයට පරස්පර ප්‍රකාශ ලබාදීම පිළිබඳව ප්‍රබල සැකයක් මතු වන බවත් ඒ පිළිබඳව පොලිසිය විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් කියා සිටියේය.

නාඳුනන තුවක්කුකරුවකු විසින් එස්.එෆ්. ලොක්කාට වෙඩි තබා ඝාතනය කළේ පසුගිය අගෝස්තු මස 5දා දහවල් 11.45ට​ පමණය.

Rate this item
(0 votes)

Related items