April 25, 2024

පවිත්‍රා දන්න වෛරසයක් නෑ - පැණියක් බදාගෙන දගලනවා

December 25, 2020

මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිවුරුම් දෙන අවස්ථාවේදී ඒ පිළිබඳ සංවාද යට ගැසීම සඳහා ගව ඝාතනය වැළැක්වීම සඳහා නීති සම්පාදනය කරන බවට අලුත් මතයක් ආණ්ඩුව විසින් සමාජය වෙත මුදාහැරි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

මරණ දඬුවම හිමි වූ පුද්ගලයෙකු මහජන නියෝජිතයෙකු බවට පත්වීමේ භයානකකම පිළිබඳ එල්ල වූ විවේචන, හරක් මැරීම තහනම් කිරීමේ සංවාදය හරහා යටගැසීමට ආණ්ඩුව උත්සාහ කළ බව ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

රටේ ජනතාව අතර බරපතල ගැටලු මතුවන සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විසින් වෙනත් ප්‍රශ්නයක් සමාජය මත මුදාහැර සැබෑ ප්‍රශ්නය හේතුවෙන් ආණ්ඩුවට එල්ල වන විරෝධය යටපත් කරන බවයි අනුර දිසානායක මහතා පවසයි.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සිදුවූයේද එවැනි තත්වයක් බව ඔහු පවසනවා. කොරෝනා වසංගතය මර්දනය හමුවේ ආණ්ඩුව අසාර්ථක වනවිට එම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා කොරෝනා පැණි නාටකයක් සමාජය ඉදිරියේ පෙන්වමින් සිටින බවත්, එම නාටකය නරඹන ජනතාව රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් සිටින බවත් දිසානායක මහතා අවධාරණය කරයි.

රටපුරා නැවතත් වසංගතය සීග්‍රයෙන් පැතිර යන පසුබිමක් තුළ වගකිව යුතු ආණ්ඩුවක් නම් කළයුත්තේ මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා එන්නත් ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වුවද සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලයන් පැණියක් බදාගෙන සිටින බවත් ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෛරස් ගැන හෝ වෛරස් මර්දනය කරන ඖෂධ සම්බන්ධයෙන් හෝ පවතින දැනුම කුමක්ද යන්න ප්‍රශ්න කරන අනුර දිසානායක මහතා පවසන්නේ ඇයට හොද්දක රස බලා ලුණු වැඩිද මදිද යන්න පිළිබඳව පැවසිය හැකි නමුත්, ඖෂධවල ගුණ අගුණ පිළිබඳව මත පළකිරීමට හැකියාවක් තිබිය නොහැකි බවයි.

Rate this item
(0 votes)