March 28, 2024

සමාජ මාධ්‍ය පරිශිලකයන් ලියාපදිංචි කරනවාද? මර්දනය කරනවාද? - ඇමති කෙහෙළිය කියපු ඇත්ත කතාව මෙන්න

December 22, 2020

පසුගිය 20 වෙනිදා දිනයේ දී ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පවසන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ යම් උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ අමාත්‍යවරයා විසින් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියා පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කර බවට පැවසීමත් සමඟයි.

මෙම පුවත බොහෝ මාධ්‍ය ඔස්සේ විකාශය වූ අතර ඒ සමඟම උණුසුම් වූ සමාජ මාධ්‍ය තුළ රජය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීමට උත්සාහ කරන බවටද පිරිස් විසින් චෝදනා කරන්නට විය.

මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ප්‍රසිද්ධ ෆේස්බුක් සමූහයක් (Facebook Group) විසින් සමාජ මාධ්‍ය පරිශිලකයන් ලියාපදිංචි කිරීම සම්බන්ධව අදහස් සොයා බැලීම සඳහා පවත්වන ලද මත විමසුමකදී (Poll) මෙම පිළිබඳව මතවාදාත්මක විවාදයක් ඇති වී තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.

මෙහිදී බොහෝ පිරිසක් එසේ සමාජ මාධ්‍ය පරිශිලකයන් ලියාපදිංචි කිරීමක් කරනවා නම් එයට එකඟ නොවන බව ප්‍රකාශ කර තිබුණි.

එම තීරණයට එරෙහිව සමාජ මාධ්‍යවල එල්ල වූ විරෝධය -

 එම ෆේස්බුක් සමූහයේ පළ කර තිබූ මත විමසුම පහතින්,

මෙහිදී 1500කට අධික පිරිසක් විසින් ෆේස්බුක් පරිශිලකයන් හෝ වෙනත් සමාජ මාධ්‍ය පරිශිලකයන් ලියාපදිංචි කිරීමට විරෝධය පළ කර තිබූ අතර 400කට ආසන්න පිරිසක් එම තීරණයක් බවත් එය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ප්‍රකාශ කර තිබුණි.

තවත් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ එසේ ලියාපදිංචි කිරීමක් කළ නොහැකි බවයි.

මෙම මත විමසුමට අදහස් ප්‍රකාශ කරමින් බොහෝ දෙනෙක් පවසා තිබුණේ ව්‍යාජ නම්වලින් පෙනී සිටින පිරිස් පාලනය කළ යුතු බවත්, එමඟින් එම සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාරයන් මෙන්ම අනිකුත් ව්‍යාජ ක්‍රියාවන් පාලනය කිරීමට හැකි වනු ඇති බවයි.

තවත් පිරිසක් ප්‍රකාශ කර සිටියේ මෙය ප්‍රායෝගික කිසිම ලෙසක ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බවයි. 

ජන මාධ්‍ය අමාත්‍යවරයාගේ කරුණු පැහැදිළි කිරීම -

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පැහැදිළි කිරීමක් සිදුකර ඇති අතර එහිදී ඔහු පවසා තිබුණේ සමාජ මාධ්‍ය නියාමනයක් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක් එම ප්‍රකාශයේ සම්පුර්ණ අදහස ගම්‍ය නොවන ලෙස සහ නිවැරදි අර්ථය නිරූපනය නොවන අන්දමින් සංසරණය වෙමින් පවතින බවයි.

එහිදී අමාත්‍යවරයා විසින් පවසා තිබුණේ ලොව පුරා රාජ්‍යන්හි අවධානය යොමුව ඇති කරුණක් වන බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මඟින් අපගේ දේශිය ව්‍යාපාර යටපත් කරමින් සහ පවරා ගනිමින් සිටින බවයි.

මෙම ආක්‍රමණකාරී ක්‍රමවේදයන් හේතුවෙන් ඩිජිටල් වේදිකා හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ඇඳී යන බවයි. 

විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීම පමණක් ඉන් අදහස් කළ බවත් ඩිජිටල් වේදිකා භාවිත කරන්නන් ලියාපදිංචි කිරීම අදහස් නොකළ බවත් අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් මඟින් දැනුම් දී තිබේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

මෙසේ කියා කරන්නේ තෝරාගත් මාධ්‍ය ආයතනයන් හෝ වෙබ් අඩවි මර්දනය කිරීමද? - මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයට අමාත්‍යවරයාගේ පිළිතුර

අද (22) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ තෝරා ගත් වෙබ් අඩවි හෝ යම් කිසි රජයට විරුද්ධව ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති නාලිකා මර්දනය කිරීමකට සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ හරහා ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කරාද යන්න ප්‍රශ්න කර සිටියේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ "එහෙම සැලැසුමක් තිබුණා නම් වරදින්නේ නැහැ මට, කිසිම දවසක වරදින්නේ නැහැ මට එහෙම සැලැසුමක් තිබුණා නම්.." 

එමෙන්ම අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේ සාකච්ඡාවක් අවසන් කර එන අවස්ථාවක එම සිදුවීම වූ බවත් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ද නිකුත් කර ඇති බවයි.

එමෙන්ම තවදුරටත් අමාත්‍යරයා විසින් පවසා සිටියේ එවැනි කිසිදු සැලැසුමක් නැති බවත් එසේ නම් වැරදීමකින් තොරව ක්‍රියාත්මක කරන බවත්, මේ මොහොතේ එවැනි කිසිදු සැලැස්මක් නැති බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 December 2020 11:50