April 25, 2024

හැම පීරියඩ් එකකින්ම විනාඩි දෙකක් අඩු කරන්න ළමයින්ට සෙල්ලම් කරන්න - නාමල් රාජපක්ෂ ඉල්ලයි .

December 22, 2020

මෙරට පාසල් තුළ උගන්වන සෑම කාල පරිච්ජේදයකින්ම මිනිත්තු 02ක කාලය බැගින් ගෙන පාසල් විවේකය අවම වශයෙන් තවත් විනාඩි 15කින් වැඩි කර ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දෙන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය පී. එල්. පීරිස් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ළමයින්ට අධ්‍යාපනය හා ක්‍රීඩා යන දෙකම සමතුලිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අදහස් දැක්වීය. එමෙන්ම රටේ බුද්ධිමත් ක්‍රීඩකයන්ගේ හිඟය සම්බන්ධයෙන් මෙහිදී හෙතෙම දැඩිව අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

“අද දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේත් විශ්වාසයක් තියෙනවා ක්‍රීඩාවට යොමු වුණොත් අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා කියලා. එය සම්පුර්ණයෙන් මිථ්‍යාවක් සහ මතයක් විතරයි. අද හරියට ක්‍රීඩා කරන දරුවෙකු අධ්‍යාපනයත් සාර්ථක කර ගන්නවා. ඒ වගේම තමයි අද ක්‍රීඩාවට තියෙන ලොකුම අභියෝගය බුද්ධිමත් ක්‍රීඩකයන් නොමැති වීම. පුහුණුකරුවෙක් දෙයක් කියලා දෙනවිට එය අවබෝධ කර ගැනීමට සහ ධාරණය කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒ හින්දා ක්‍රීඩකයෙක් කියන්නේ බුද්ධිමත් වගේම අවබෝධ කර ගැනීමට සහ ධාරණය කරගැනීමට හැකි පුද්ගලයෙක් බව කිව යුතුයි. මෙය ගුරුවරුනුත් මතක තියාගත යුතුයි.

දරුවන්ට වැඩිපුර පිට්ටනියට යැවිය යුතුයි. මම යෝජනාවක් කළා අධ්‍යාපන ඇමතිතුමාට පුළුවන්නම් පාසල් විවේකය අඩුමගානේ විනාඩි 15ක් වැඩි කරලා දෙන්න කියලා. මුළු පිරියඩ් එකක්ම මම ඉල්ලන්නේ නැහැ, හැම පීරියඩ් එකකින්ම විනාඩි 02 බැගින් අරගෙන අපිට විනාඩි 18ක් විතර හදාගන්න පුළුවන්. ඒ විනාඩි 18ත් එකතු වුණාම දරුවන්ට තව පන්දුවාර දෙක තුනක් ඉන්ටර්වල් එකේදී සෙල්ලම් කරන්න පුළුවන්” යැයි පවසා සිටින ලදි.

මේ සම්බන්ධව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරමින් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ මෙය පාසල් යන සමයේදී අප සැමගේ බලාපොරොත්තුව වූ බවත් මේ වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාට සුභ පතන බවත් ය.

Rate this item
(0 votes)