March 29, 2024

පී.සී.ආර්. නොකළ මළ සිරුරක් නිසා පානදුරේ කලබලයක්

December 15, 2020

පි.සි.ආර්. පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ  මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුරක්  කිසිදු පරීක්ෂණයකින් තොරව පානදුර  තොටවත්ත ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරිම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශවාසීන් අතර අද (15)  දැඩි ආන්දෝලනයක් ඇති විය.

මෙලෙස මියගොස් තිබුණේ පානදුර උතුර තොටවත්ත කලිෆා මාවතේ පදිංචිව සිටි  72 පුද්ගලයෙකි.

දිනෙන් දින කොරෝනා ආසාදිත රෝගීන්  වාර්තා වන පානදුර තොටවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු නිවස තුළදී මියයාමෙන් අනතුරුව  එම  මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයට භාජනය නොකර  මිහිදන් කිරීමට පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අනුමැතිය   ලබාදීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ  දැඩි ආන්දෝලනයක් මේ වන විට  හටගෙන ඇත.

ඉකුත් 13 වෙනිදා මෙම පුද්ගලයා මියගොස් තිබූ අතර අද( 14) උදේ එම ප්‍රදේශය හදිසි මරණ  පරීක්ෂකවරයාගේ  දැනුම්දීම මත  මියගිය පුද්ගලයාගේ ඥාතීන්  පානදුර උතුර  පොලිසියට පැමිණීමෙන් අනතුරුව එම අවස්ථාවේ රාජකාරි කරමින් සිටි එම ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ ද , පානදුර  මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත මළ සිරුර පි සි ආර් පරීක්ෂණ සඳහා පානදුර  මූලික රෝහලේ මෘත ශරීරාගාර වෙත යොමුකර තිබිණි.

මළ සිරුර එම පරීක්ෂණ සඳහා තිබියදී වෙනත් අධිකරණ වෛද්‍ය නිලධාරියකු ඊයේ දින රාජකාරි යෙදී සිටියදී  මෙම මළ සිරුර පි සි ආර් පරීක්ෂණයකින් තොරව  රැගෙන ගියේ කාගේ බලපෑමකට දැයි  ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරති.

මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේම නිවෙස් කීපයක පුද්ගලයන් කීපදෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති අතර තොටවත්ත ප්‍රදේශයෙන් මේ වන විට  කොරෝනා  වෛරසය ආසාදිතයන් පනහකට ආසන්න ප්‍රමාණයක් දින  කීපයක් තුළ දී වාර්තා වී තිබූ බව  සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනෙන් දින කොරෝනා ආසාදිතයන් වාර්තා වන මෙම ප්‍රදේශයේ සංචරණ සීමා  හෝ  හුදෙකලා තත්ත්වයට පත්කිරීමට හෝ පියවර නොගෙන  මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු  පි සි ආර්  පරීක්ෂණ වලින් තොරව  ලබාදීම එකම රටක් එකම නීතියක් යටතට නොගැලපෙන බව  ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවතී.

Rate this item
(0 votes)