April 24, 2024

කොවිඩ් පාලන කටයුතු පවිත්‍රාගෙන් ගලවයි - ජනපති ගත් තීන්දුවට හේතුව මෙන්න

December 01, 2020

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබූ අතර නව රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය.

ඒ අනුව වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය රාජ්‍ය අමාත්‍යාංශ දෙකක ඇමැතිධූරය හොබවයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් වන අතර ජනතාව සඳහා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීමට ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩ කඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ජනාධිපතිවරයා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

නව රාජ්‍ය අමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබූයේ මේ පරමාර්ථය සපුරා ගනු පිණිස බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

කොරෝනා පළමු රැල්ල ඉතා සාර්ථකව මැඩපැවැත්වූ රජයට දෙවැනි රැල්ල පැතිරීමත් සමඟ ගත් ඇතැම් තීන්දු තීරණ ගැන විවිධ චෝදනා එල්ල විය.

කොවිඩ් මර්දන වැඩපිළිවෙලට විශාල ද‌ායකත්වයක් දැක්වූ මුල් පෙලේ සිටි සෞඛ්‍ය බලධාරීන් ඉවත් කර ඔවුන්ගේ සහය නොගැනීම ගැන සෞඛ්‍ය ඇමැතිවරියට ඇඟිල්ල දිගු විය.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරුවලින් ඉවත් කර කොවිඩ් මර්දන වැඩපිළිවෙලට දායක කර නොගැනීම ගැන සමාජයෙන් චෝදනා එල්ල විය.

ඒ පිළිබඳ විපක්ෂය පාර්ලිමේන්තුවේදී කල ප්‍රශ්න කිරීමේදී කොවිඩ් මර්දන කමිටුවේ උපදේශකයකු ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කැඳවන බවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පොරොන්දු විය. නමුත් වාර්තා වන ආකාරයට වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ඒ සඳහා මෙතෙක් කැඳවීමක් කර නැති බව වාර්තා වේ.   

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාටද පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර ලබා දී තිබුණද එම තනතුරේද වැඩි කලක් සේවය කිරීමට අවස්ථාව නොලැබී තිබුණේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට එම තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස දැනුම්දීමත් සමඟය.

මේ හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පිළිබඳ ආණ්ඩු පක්ෂය තුලින්ද විවිධ විවේචන එල්ල වී ඇති අතර පසුව ජනාධිපතිවරයාගේද අවධානය යොමුවීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ වසංගත රෝග අංශය ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ කොවිඩ් රෝග පාලන කටයුතු සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කර තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි.

Rate this item
(0 votes)