April 24, 2024

ජනපති පවරා ගත් අමාත්‍යාංශයේ වැඩ පෙන්වයි - ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ

December 01, 2020

ශ්‍රී ලංකා ඉතිහාසයේ  ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (30) පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. 

රැස්වීම සාර්ථකව පැවැති බව වාර්තා වේ.

කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කළ බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

නව තාක්ෂණය හඳුන්වාදීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛතාව දී තිබේ. 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත.

එකී අරමුණ පෙරදැරිව තාක්ෂණ අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා පසුගියදා සිය අධීක්ෂණයට පවරා ගත්තේය.

21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. 

එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වේ.

රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි. 

මෙම වසංගත තත්ත්වය යටතේ වුවත් රටේ ඉදිරි සංවර්ධන කටයුතු හා ජන ජීවිතය විධිමත් ලෙස මෙන් ම සක්‍රීය ලෙස ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කොට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට හැකි වූ බව 
විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට කැබිනට් රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Rate this item
(3 votes)