April 20, 2024

බන්ධනාගාරයේ මරණ සංඛ්‍යාව 6ක් දක්වා ඉහළට..නිලධාරියෙක්ට බරපතළයි - 43කට තුවාල

November 30, 2020

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබේ.

මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 43 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.

ඒ අනුව පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් පහරදීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.

කෙසේවෙතත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.

එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ.

ගින්න පැතිර යාම වැඩි වීමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටද පියවර ගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් අද (30) අලුයම 3 පමණ වන තුරුත් ගින්න විශාල ලෙස පැවති බව වාර්තා වේ.

Rate this item
(0 votes)