April 19, 2024

“මවගේ අනුදැනුම මත කිහිපවරක්ම මාව අපයෝජනය කළා“ - කෝටිපති ජපන් දියණිය සියල්ල හෙළි කරයි

November 29, 2020

බාල වයස්කාර ජපන් ජාතික තරුණියක් මෙරටට රැගෙන ඒම සහ ඇය ගැබිණියක් වීම හේතුවෙන් මේ වනවිට සිරගතවී සිටින තරුණයා හා සම්බන්ධ සිද්ධිය වෙනත් දිශාවකට යොමුවී තිබේ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ අදාළ තරුණිය සමඟ පෙම් සබඳතාවක් ඇති කරගත් ශ්‍රී ලාංකික තරුණයාටයි.

කෙසේ වෙතත් තරුණියගේ මවද, ශ්‍රී ලාංකිකයෙකු සමඟ සබඳතා පවත්වාගෙන යන බවට මේ වනවිට හෙළිවී තිබේ.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරුණයෙකු පැහැරගෙන පැමිණි බවට මෙම කාන්තාව පසුගිය මාර්තු මාසයේදී මෙරට පොලිසියට පැමිණිලි කර තිබූ අතර පසුව මීගමුව කොච්චිකඩේ පොලීසිය විසින් අදාළ යුවළ සොයා සිදුකල විමර්ශන වලදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයික්කාල ප්‍රදේශයේදියි.

මෙම තරුණයා සහ 16 හැවිරිදි ජපාන තරුණිය පසුගිය 26 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එමෙන්ම, මේ වනවිට ගැබිනියක් බවට පත්ව ඇති ජපාන තරුණිය පරිවාස භාරයට යොමු කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එමෙන්ම, මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු තවත් තිදෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

ජපන් ජාතික තරුණියගේ පෙම්වතා වන ශ්‍රී ලාංකික තරුණයාට පොලීසිය චෝදනා තුනක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එම චෝදනා වන්නේ බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ඒම, ස්ත්‍රී දූෂණය සහ ස්ත්‍රි දූෂණයකට අදාළව ආධාර අනුබලදීමය.

ජපානයේ පවතින නීතියට අනුව වයස අවුරුදු 13 ඉක්මවූ දැරියකට සහකරුවෙකු හා ලිංගිකව එක්විය හැකි අතර, වයස අවුරුදු 16 ඉක්මවූ පසු විවාහ වීමටද හැකියාව පවතී. කෙසේ වෙතත් තරුණයෙකුට අවුරුදු දහ අටේදී විවාහ වීමේ හැකියාව පවතින බව වාර්තාවේ.

එහෙත් මෙම නීතිය මෑතකදී සංශෝධනය වී ඇති අතර, ඒ අනුව තරුණියකට විවාහ වීමට හැකි අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් එම නීතිය වලංගු වන්නේ 2022 වසරේ සිට වන අතර ඒ අනුව අදාළ තරුණිය ජපාන නීතියට අනුව වරදකරුවෙකු කිරීමේ හැකියාවක් නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඇය සහ අදාළ තරුණයා මීට මාස පහකට පෙර මෙරටට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික තරුණියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් බවට අනාවරණ වූ බව කොච්චිකඩේ පොලිසිය පැවසීය.

ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර සිය පෙම්වතියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බව එහිදී හෙළිවිය.

එම ප්‍රේම සබඳතාවට ජපන් ජාතික තරුණියගේ මව මුලින් විරුද්ධත්වයක් පළ කර නොමැති අතර පසුව මව, ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමඟ සබඳතාවක් ගොඩනගාගෙන ඇති අතර, ඉන් අනතුරුව අදාළ කාන්තාව තම දියණියගේ ප්‍රේම සබඳතාවට විරෝධය පළ කර ඇත.

එම ජපන් ජාතික තරුණියගේ ප්‍රකාශයට අනුව මව සමඟ සබඳතා පවත්වන පුද්ගලයා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ හෝටලයක් තුළ දින කිහිපයක් මවගේ අනුදැනුම මත එම තරුණිය අපයෝජනයට ලක් කර තිබේ.

ඒ, මීට පෙර මව සමඟ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදීය.

ඒ සම්බන්ධයෙන් දැනට පරිවාස භාරයේ සිටින පස්මස් ගැබිණි ජපාන තරුණිය මෙලෙස අදහස් පළ කර තිබිණි.

“මම කැමැත්තෙන් තමයි ලංකාවේ තරුණයාත් සමඟ ආවේ. මට ගෙදරින් ගොඩක් කරදර සිද්ධ වුණා. මගේ මව සමඟ සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. ඔහුගේ නම කොස්තා. ඔහු මට ගොඩක් අඩන්තේට්ටම් කළා. කිහිප වරක්ම මාව අපයෝජනය කළා. මගේ අම්මා සහ ඔහු සමඟ අවස්ථා කිහිපයක් මම සංචාරවලට එක්වුණා. කිහිපවරක් ලංකාවටත් ආවා. ඒ ආපු අවස්ථාවකදිත් මාව අපයෝජනය කළා. පළමු වතාවට මාව ඔහුගේ අපයෝජනයට ලක්වුණේ මගේ මව්රට වන ජපානයේදියි. ඒ මොහොතේ මගේ අම්මත් සිටියා. ඔවුන් දෙදෙනාම බීමතින් සිටියේ. මේ සියලු සිදුවීම් වුණේ මගේ මවගේ අනුදැනුම යටතේයි. මට ආයෙත් ජපානයට යන්න බැහැ. ගියෝතින් මගේ මව සහ ඇය සමඟ සබඳතා පවත්වන කොස්තා නැමති ශ්‍රී ලාංකික පුද්ගලයාගෙන් මට හිරිහැර වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ අම්මාව සහ කොස්තාව අත්අඩංගුවට ගන්න කියලා. මම කැමැත්තෙන් තමයි මගේ ශ්‍රී ලාංකික පෙම්වතා සමඟ විවාහ වුණේ. මට ආයෙත් ජපානයට යන්න බැහැ.”

Rate this item
(4 votes)