April 25, 2024

එජාප නායකත්වයේ වගකීම ගන්න මමත් සූදානම් - සජිත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන් Featured

November 29, 2020

"සජිත් පේ‍්‍රමදාස මහත්තයත් එක්ක මට කිසිම පෞද්ගලික ප‍්‍රශ්නයක් නෑ. අපි පරණ යාලූවො. මං හිතන්නෙ නැවතත් ඒ යාළු මිත‍්‍ර කම් අලූත් කර ගෙන අපිට සුභවාදී ගමනක් රට වෙනුවෙන් ඉදිරියට ගෙන යන්න පුළුවන්. මගේ පුද්ගලික මතය නම් රජයට විරුද්ධ සියලූ පාර්ශ්වයන් එක් වීම." යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා රුවන්වැලිසෑ රදුන් අභියස පැවති කෝරෝනා වසංගතය අවසන් වේවායි ප‍්‍රාර්ථනා කරමින් පැවති අධිෂ්ඨාන පූජාවකින් අනතුරුවය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය.
 
"අද තිබෙන සෞඛ්‍ය තත්ත්වය හා කොරෝනා ප‍්‍රශ්නය උඩ මාතෘභූමිය මේ කොරෝනා උවදුරින් බේරාගන්න අපි ත‍්‍රිවිධ රත්නයේ පිහිට පැතුවා. ඒ නිසා අපි රුවන්වැලිසෑය අභියසට පැමිණ අධිෂ්ඨාන  පූජාවක් කරා. ඉතින් අපි බලාපොරොත්තු වනවා මේ උවදුරින් අපේ මාතෘභූමිය බේරා ගැනීමට ත‍්‍රිවිධ රත්නයේ පිහිට. එක්සත් ජාතික පක්ෂය නැවතත් ගොඩනැඟීමේ සටනේ දී මූලික අඩිතාලමක් හැටියට අපි මෙය දැක්කා. අපේ දිස්ත‍්‍රික්කයේ සංවිධායකවරු එකතු කරලා ඔවුන් සමගම අපි මේ පින්කම කළේ, දේශපාලන අරමුණකට වඩා මෙහි තිබුණේ ආගමික අරමුණක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ එක්සත් ජාතික පක්ෂය මීට වඩා ශක්තිමත්ව පක්ෂය හරි මාර්ගයට ගන්න. ආණ්ඩුවක් පෙරලන්න, ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති කරන්න, ආණ්ඩු විරෝධී පාර්ශ්ව සියලූ දෙනාම එකතු වීම අවශ්‍ය වෙනවා. ඒ ප‍්‍රතිපත්තිය තුළ මම ඉන්නවා. මම හැමවෙලේම කිව්වා අපි අවංකව කතා කරලා පක්ෂය පිළිබඳ ප‍්‍රශ්නය විසඳිය යුතුයි කියලා. අපේ පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂේ පැරදුනාට පසුව එතුමා ප‍්‍රකාශ කරා පක්ෂ නායකත්වය අලූත් කණ්ඩායමකට දෙනවා කියලා."
 
"මීට සති තුනකට පමණ පෙර මම කිව්වා එතුමාගෙන් පසුව ඒ නායකත්වය බාර ගන්න මමත් කැමතියි කියලා. මට විශ්වාසයක් තියෙනවා ති‍්‍රවිධ රත්නයේ පිහිටෙන් මම අවුරුදු විස්සක් පාර්ලිමේන්තු ඉඳලා සේවය කරලා තියෙනවා. කැබිනට් ඇමැතිවරයෙක් හැටියට, මට ඒ නායකත්ව අත්දැකීම් තිබෙනවා. මට හිතෙනවා සියලූ දෙනාගේම සහයෝගය මට තිබෙනවා නම්, ඒ කාර්ය භාරය මට කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම ඒ අරමුණ කරා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කතා කරන කොට ඉතාම කනගාටුදායකයි. කොරෝනා දෙවැනි රැුල්ල මේ වන විට ආරම්භ වී තිබෙනවා. රජය හරි හැටි නොකිව්වත් අපි දන්නවා ඒක සමාජගත වෙලා තිබෙනවා කියලා. ඇයි ඒක එහෙම සමාජගත වෙලා තියෙන්නෙ කියන කාරණාව රජය හරි හැටි කියන්නේ නැහැ. නමුත් අපි හිතනවා මීට වඩා විධිමත් විදියට කොරෝනා දෙවැනි රැුල්ල මැඩපවත්වන්න රජය කටයුතු කළ යුතුයි කියලා. ජනාධිපතිතුමාට හරි හැටි උපදෙස් ලැබෙනවද දන්නේ නෑ. මම කලිනුත් කිව්වා අනිල් ජාසිංහ මහතා අයින් කරපු එක විශාල වැරැුද්දක් කියලා. නැවතත් වෛද්‍ය ජාසිංහ මහතාට අවස්ථාවක් ලබාදීලා තියනවා ඒ රැුස්වීම්වලට එන්න. ඒ හානිය වෙලා ඉවරයි. දැන්වත් මේ වෛද්‍යවරුන් විශේෂඥයන්ගේ උපදෙස් ලබාගන්න. හමුදාවෙන්ම පමණක් මේක පාලනය කරන්න බැහැ. මේක හමුදා මෙහෙවරක් නෙමේ මේක සෞඛ්‍ය මෙහෙවරක්. ඒ වෙනස තේරුම් ගන්න අවශ්‍යයි."

Rate this item
(4 votes)