April 25, 2024

කුරුණෑගල මහවීදිය සහ දඹුල්ල තැපැල් කාර්යාලය වසා දමයි

November 23, 2020

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මලු  ප්‍රවාහනය කළ සේවකයෙකු කෝවිඩ්-19 ආසාදිත බවට හදුනා ගැනීම නිසා දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ  සේවා කටයුතු  තාවකාලිකව නවතා දමාතිබේ.

එහි සේවකයන් කියා සිටියේ පසුගිය දා  කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයෙන් ලිපි මළු රැගෙන ආ සේවක මහතා කොවිඩ් වෛරසය ආසාදනය වූ බව මේ වන විට හදුනාගෙන ඇති නිසා  මෙම පියවර ගෙන ඇති බවයි.

දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්‍යාලයේ ස්ථානාධිපති සාගර කරුණාරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ විස බීජ හරණ කටයුතුවලින් අනතුරුව තැපැල් කාර්යාලය විවෘත කිරීමට අදහස් කරන බවය.

කෙසේ වෙතත් ඉදිරි කිසිදු තොරතුරක් තමාට ලබා දීමට නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රධානම වීදිය ලෙස සැලකෙන මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන එම වීදියට සංචරණ සීමා පනවා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව රථවාහන ගමනාගමනය අවුරමින් මාර්ග බාධක යොදා එම වීදිය වසා තිබෙන අතර පාගමින් එම වීදිය හරහා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදී ඇත. මහ වීදියට පිවිසීම අවහිර කළද කොරෝනා ආසාදිතයින් වාර්තා වූ වෙළඳසැල් හැර අනෙක් සියළුම වෙළඳසැල් විවෘතව තැබීමට බාධාවක් නැති බවද නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

මේවනවිට මහ වීදියේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන 08 කින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ.

Rate this item
(0 votes)