March 28, 2024

රිෂාඩ්ගේ සේප්පුවෙන් මිලියන 2500ක් එලියට එන ලකුණු

November 21, 2020
අභියාචනාධිකරණ නියෝගය පරිදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විල්පත්තුව අවට රක්ෂිත වනාන්තරවල කරන ලද වන විනාශය වෙනුවෙන් නැවත වන වගා කිරීම සඳහා තම පෞද්ගලික ධනයෙන් අවමවශයෙන් රුපියල් කෝටි 250ක් පමණ ගෙවීමට සිදුවනු ඇතැයි විල්පත්තු වන විනාශය පිළිබඳ නඩුව පැවරූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කරන ලදී.
රිෂාඩ් බදියුදීන් වගඋත්තරකරුවකු වූ නඩුව අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. වියළි කලාපයට අයත් විල්පත්තුව ආශ්‍රිත කල්ලාරු කලාපයට අයත් රක්ෂිත වනාන්තරයේ අක්කර 2500ක් පමණ පසුගිය කාලයේ නැවත පදිංචි කිරීම සඳහා විනාශ කරනු ලැබිණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කුමක් ප්‍රකාශ කළ ද වියළි කලාපයේ වනාන්තර අක්කරයක් වැවීම සඳහා රුපියල් ලක්ෂ 10කට අධිකව වැයවනු ඇති බව තමන්ගේ ගණන් බැලීම යැයි ද ඔහු පැවසීය. මේ නිසා සිදු වූ පාරිසරික විනාශයේ වටිනාකම ද එක් කළහොත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය එම වටිනාකම මෙන් දස ගුණයක්වත් විය හැකි බවද ඔහු කීවේය.
පරිසරවේදීන් පවසන්නේ වියළි කලාපයේ වන රෝපණය කිරීමේ දී අවම වශයෙන් අක්කරයකට ගස් 800ක්වත් සිටුවිය යුතු බවත් එසේ රෝපණය කරන ගස් අවුරුදු හතක් දක්වාවත් රුකබලා ගත යුතු බවත්ය.
Rate this item
(1 Vote)
Last modified on Saturday, 21 November 2020 15:17