April 25, 2024

අන්තවාදී කල්ලි කණ්ඩායම් කියන විදිහට වැඩ බෑ - කොරෝනාවෙන් මිය යන අය ආදාහනය කළ යුතු හැටි ඥානසාර හිමි කියයි

November 11, 2020

කොරෝනා වෛරසය ආසාදනය වී මියැදෙන සියලූ දෙනාගේ ආදාහන කටයුතු සිදු කළ යුත්තේ අන්තවාදී කල්ලි කණ්ඩායම් කිහිපයකගේ අවශ්‍යතා අනුව නොව සෞඛ්‍ය විශේෂඥ කමිටුවක නිර්දේශ අනුව පමණක් බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේබව පැවසූවේ ඊයේ  (10) නාවල පාර, රාජගිරියේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අන්තවාදී ඉස්ලාම් කල්ලිවල පදයට වත්මන් ආණ්ඩුවත් නැටවුණහොත් සහරාන් වැනි අංකුර කල්ලි කණ්ඩායම් තවදුරටත් බිහි වීම නොවැළැක්විය හැකි වනු ඇති බවත් උන්වහන්සේ කීහ.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.
 
"කොරෝනා ආසාදනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කරනවා ද භූමදාන කරන්නේ ද යන්න නැවතත් කතාබහක් මතුව තිබෙනවා. සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්, මුස්ලිම් ජනතාවගේ හැඟීම් තේරුම් ගෙන මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදුන් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අනන්ත අප‍්‍රමාණ ප‍්‍රණාමය පුද කරන බව දන්වමින් ඔවුන්ගේ ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සියලූ මුස්ලිම් ජනතාව වෙනුවෙන් එම ප‍්‍රණාමය පුද කරන බවත් අධිකරණ ඇමැති අලි සබ්රි මහතාටත් එමගින් ස්තුතිය පළ කරන බවත් සඳහන් කර තිබෙනවා. ඇත්තටම අපගේ අදහස මෙම කටයුතු සිදු කළ යුත්තේ විශේෂඥ කමිටුවක අදහස් අනුව මිස අන්තවාදී කල්ලි කණ්ඩායම් කිහිපයක වුවමනාවට නොවන බවයි. ඉස්ලාම් අන්තවාදය පරාජය කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වන තෙක් ඒ සඳහා කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැහැ. නමුත් අන්තවාදී කණ්ඩායම් කීපයක අවශ්‍යතා වෙනුවෙන් රජය පෙනී සිටින බව මින් පෙනී යනවා.
 
අප 2010 සිට 2015 තෙක් ඉස්ලාම් අන්තවාදී කල්ලිවල කි‍්‍රයාකාරකම් පිළිබඳව රජය දැනුවත් කළා. ඔවුන් නිසා ඉදිරියේදී රට පිපිරෙන බව අප දැනුවත් කළා. නමුත් මේ ආණ්ඩුව කළේ අර රටට වෙන විපත පෙන්වූ අපට තඩි බා එම කල්ලි කණ්ඩායම් ප‍්‍රවර්ධනය කිරීමයි. දැනුත් සිදුවෙමින් පවතින්නේ එයයි. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අප කියන්නේ අයියා වැටුණු වළේ තමනුත් නොවැටෙන ලෙසයි. මුස්ලිම් මෘත දේහයන් භූමදාන කිරීමට ඉඩ නොදුනහොත් උද්ඝෝෂණයක් කරන බවට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අන්තර්ජාලය ඔස්සේ සඳහන් කර තිබුණා. මේ ලෝක වසංගතය හමුවේ බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ද සීමා වී තිබෙනවා. නමුත් අපි කවදාවත් ඒ අයිතිවාසිකම් ඉල්ලාගෙන කෑගහන්න ගියේ නැහැ. නමුත් ඉස්ලාම් අන්තවාදීන් මේ මොහොතේදීත් මස් රාත්තලම ඉල්ලනවා.
 
එක රටක් එක නීතියක් කියමින් බලයට පැමිණි ආණ්ඩුවට ඒවා දැන් අමතක වී තිබෙන හැඩයි. අන්තවාදී කණ්ඩායම් තහනම් කරනවා වෙනුවට ඔවුන්ගේ පදයට ආණ්ඩුව නැටවෙන බව පේනවා. අප කිසි විටෙකවත් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් පිළි නොගෙන නැහැ. නමුත් අන්තවාදීන්ගේ මෙම කි‍්‍රයා පිළිවෙතට අප විරුද්ධයි. අන්තවාදී කණ්ඩායම් මෙලෙස හැසිරුණහොත් සම්ප‍්‍රදායික මුස්ලිම්වරුන්ටත් නිදහසේ ඉන්න ලැබෙන එකක් නැහැ. නැවතත් රට තුළ සහරාන් වැනි අංකුර කණ්ඩායම් නැවත බිහි විය හැකියි. මුස්ලිම් අන්තවාදය අප දැන්වත් තලා දැමිය යුතුයි. නමුත් ඉස්ලාම් අන්තවාදීන් මේ වනවිට තමන්ගේ වැඩ ටික ලස්සනට කර ගනිමින් සිටිනවා.
 
එම නිසා ආගමික කල්ලි කණ්ඩායම්වල බලපෑමට යට නොවී සෞඛ්‍ය අංශවල තීරණය අනුව රජය කි‍්‍රයා කළ යුතුයි. මේ කරන වැඩවලින් වෙන්නේ වහාබ්වාදී කල්ලි දරුණු ලෙස මුස්ලිම් සමාජය තුළට කිඳා බැසීමයි. එම නිසා අනවශ්‍ය ආගමික ගැටුම් ඇති නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමක්. " යැයි උනවහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 November 2020 11:53