April 24, 2024

තුන්වැනි පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වන ස්වයං ඉගෙනුම් කට්ටල සිසුන්ට ලබා දෙනවා - ඇමැති ජී. එල්. කියයි

November 11, 2020

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පාසල් ආරම්භ වීම කල්දැමීම නිසා මේ වසරේ (2020) තුන්වැනි පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල සකස් කර විදුහල්පතිවරුන් මගින් ඒවා ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසූ අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප‍්‍රමුඛ අවධානය යොමු කර පාසල් යළි විවෘත කිරීම සති දෙකකින් කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ කාලය තුළ පාසල් දරුවන්ට දුරස්ථ ක‍්‍රමවේදය භාවිත කරමින් පාඩම් ලබාදීමට කටයුතු සලසා තිබෙනවා. ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාව හරහා මේවන විටත් දරුවන්ගේ ප‍්‍රයෝජනය සඳහා පාඩම් 2700ක් පමණ විකාශය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි වීම අවම කරගැනීම සඳහා තුන්වන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා විෂයයන් සිංහල, දමිළ, ඉංග‍්‍රීසි මාධ්‍යන්ගෙන් වීඩියෝ සකස් කර විකාශය කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

රූපවාහිනී විකාශයන් මගින් ආවරණය නොවන ප‍්‍රදේශවල සිටින හෝ රූපවාහිනී යන්ත‍්‍ර හෝ අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන් සඳහා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් එම පාඩම් විකාශය කිරීමට ප‍්‍රමාණවත් පරිදි ගුවන් කාලය ලබා ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදය ඔස්සේ ක‍්‍රියාත්මක කිරීම සඳහා ඊ තක්සලාව භාවිත කිරීමට දැනටමත් අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා.

2020 තුන්වන පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල ලබාදීමට මූලික පියවර ගෙන තිබෙනවා. ඒ අදාළ කට්ටල පාසල් විදුහල්පතිවරුන් මගින් සිසුන් වෙත ලබාදීමට රජය බලාපොරොත්තු වෙනවා. මේවාට සමගාමීව පළාත් නවයේම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විධිමත් හා නොවිධිමත් මට්ටමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යෑම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. මේ කාලය තුළ ක‍්‍රියාත්මක වන මේ සමස්ත වැඩපිළිවෙළින් සිසුන්ට ප‍්‍රයෝජනයක් වෙයි කියා බලාපොරොත්තු වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 November 2020 14:19