March 29, 2024

කොරෝනා මර්දනයට ජාත්‍යන්තර ආධාර ලබා දුන්නේ කළගෙඩි ගංගාවලට දැමීමට නොවෙයි

November 05, 2020

කොරෝනා මර්දනයට ජාත්‍යන්තර ආධාර ලබා දුන්නේ කළගෙඩි මිලදී ගෙන ගංගාවලට දැමීමට නොවන බවත් අදාළ ආධාර මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න රටට හෙළි කරන ලෙස ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
 
පවතින කොරෝනා තත්ත්වය හමුවේ සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය නායකවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
 
"රටේ පවතින කොරෝනා තත්ත්වය ගැන ජනතාවට ඇත්ත දැන ගැනීමේ හැකියාවක් නැහැ. යුද හමුදාපතිවරයා කියනවා කොරෝනා වැළඳුණු අය නිරෝධායන මධ්‍යස්ථානවල සිටිය යුතුය කියා. සෞඛ්‍ය බලධාරීන් කියනවා කොරෝනා වැලඳි ඇතත් රෝග ලක්‍ෂණ නොමැති නම් නිවෙස්වල නිරෝධායනයට කරනවා කියනවා. මේ ගැන හරි ප‍්‍රකාශයක් නැති නිසා ජනතාව අපහසුතාවට පත්වෙනවා. ඒ නිසා හරිදේ ජනතාවට කියන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. කොරෝනාවල ඇත්ත තත්ත්වය ජනතාවට හංගන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත තත්ත්වය හංගන්න යෑමෙන් ජනතාව කොරෝනා බියක් රටේ නැතැයි සිතා කටයුතු කිරීමට යෑමෙන් නොහිතන දෙයක් රටේ ඇතිවන්න පුළුවන්. මේ පවතින තත්ත්වය ජනාධිපති ඇතුළු රජය බාරගන්න ඕන. අපි පසුගිය දිනවල දැක්ක බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඇතුළු ස්ථාන කිහිපයක ප‍්‍රධාන උත්සව පවත්වනවා. ජනාධිපතිවරයා මුඛ ආවරණ නොමැතිව ජනතාව හමුවට යනවා. මෙවැනි දේවල් ජනතාව දුටුවම කොරෝනා බියක් නැතැයි කියා ජනතාවත් ඒ ආකාරයෙන් හැසිරෙනවා. රජයේ බලධාරීන් තමයි කොවිඞ් අපි මර්දනය කළා කියලා පුරසාරම් දෙඩුවේ. අපි අහනවා කොවිඞ් අරමුදලට චීනයෙන් ඩොලර් මිලියන  590 ක්, මෙරට සහ විදෙස් ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් අරමුදලට ලැබුණා. මේ මුදල් කොහෙද තියෙන්නෙ. මොනවද කළේ කියලා ජනතාවට දැනගන්න අවශ්‍යයි. කළගෙඩි අරන් ගංගාවලට විසි කරන්න මේ මුදල් දුන්නේ නැහැ. මේ වනවිට සුවසැරිය ගිලන් රථවල පවතින ශ්වසන උපකරණ ගලවා රෝහල්වල සවිකිරීමේ උත්සාහයක් පවතිනවා. මේ උපකරණ  ගැලෙව්වොත් නැවත එම වාහනවල සවිකරන්න බැහැ. ආණ්ඩුවට ලැබුණ මුදල්වලින් ශ්වසන උපකරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ ලබා නොගැනීම නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නෙ. මේ වනවිට රටපුරා රෝහල්වල දැඩි සත්කාර ඇඳන් 630 ක් පවතිනවා. මින් 130 ක් වැනි ප‍්‍රමාණයක් තමයි කොවිඞ් රෝගීන් වෙනුවෙන් වෙන්කරලා තියෙන්නේ."

Rate this item
(0 votes)

Related items