April 25, 2024

කොළ කලාප, රතු කලාප බවට පත් වීම වැලැක්වීමයි දැන් වැදගත් - වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

කොරෝනා මර්දන වැඩපිළිවෙළේදී මහජන සහය බිඳ වැටි ඇති බව පෙනෙන්නට තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේය. 

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය අඩු  අවදානම් කලාප එනම් කොළ කලාප අවදානම වැඩි කලාප වන රතු කලාප බවට පත්කර නොගැනීමට එම කලාපයන්හි ජනතාව හැම විටම කටයුතු කළ යුතු බව පාදෙණිය මහතා සඳහන් කළේය. 

විශේෂයෙන් රෝගීන් වැඩිවශයෙන් මතුව ඇත්තේ ආර්ථික කලාපවල  වන අතර ඒවායෙහි ජනතාව වැඩි වශයෙන් ගැවසීමත් නිසා වැඩි ව්‍යාප්තියක් දැක ගත හැකි වූ අතර එය එසේ වුවත් ඇඳිරි නීති පවතින තත්ත්වයක වුවද ගිලන් රථ සේවා ක්‍රියාත්මක වීම අවදානම් අඩු කලාපවල සිට අවදානම් වැඩි කලාප වෙත ගමන් කිරීමත්, විශේෂයෙන් පොලිස් හා හමුදා නිලධාරීන් මෙම කලාප අතර ගමන් කිරීමත් දැක ගත හැකි වුවද ඔවුන්ගෙන් කිසිලෙසකින්වත් රෝගය ව්‍යාප්ත නොවුණු බවද පාදෙණිය මහතා පෙන්වා දුන්නේය. 

එයින් අදහස් වන්නේ ඔවුන් රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් අනුගමනය කළත් ආර්ථික සැපයුම් ජාල තුළ එය නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති බවයි. 

එමෙන්ම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වල වාට්ටුවල වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩල ඔවුන් ලඟට ගොස් ප්‍රතිකාර කරනා අතර ඉන් බොහොමයක් වෛද්‍යවරු, කාර්ය මණ්ඩල තම නිවෙස් වෙත යන අතර ඔවුන් රෝගය නිවසට ගෙන ගොස් නැති බවද ජනතාව අවධාරණය කරගත යුතු බව පාදෙණිය මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. 

විශේෂයෙන් ඇගළුම් සයැපුම් ජාලය හා මත්ස්‍ය සැපයුම් ජාලය මඟින් මේ මොහොතේ වෛරසය ව්‍යාප්තිය සිදු වූ ආකාරයට ඉදිරියේදී හාල් පොල් ආදී බෙදා හැරීම් ජාල ඔස්සේද වෛරසය ව්‍යාප්ත විය හැකි හෙයින් හැම විටම ඒ ගැන සිතා කටයුතු කළ යුතු බවද පාදෙණිය මහතා පැහැදිලි කරන ලදී. 

තමන්ගේ කලාපය රතු කාලපයක් කර නොගැනීමට වැඩි වගකීමක් ජනතාව සතු වන බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350න්  28 කට නැත්නම් පොලිස් කොට්ඨාස 490න්  68කට රෝගය පැතිරි ඇති අතර සෙසු කලාප වල ජනතාව තමන්ගේ කලාපයට රෝගය නොගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 October 2020 20:13