March 28, 2024

පෝ දා පිංකම්වලට 50 කට වඩා එපා

වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අනිද්දා (30) දිනයේදී බස්නාහිර පළාතෙන් පිට විහාරස්ථානවල ද පවත්වන පිංකම් සඳහා 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් පමණක් සහභාගී කරවා ගන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල විහාරස්ථානයන්හි වෙනදා මෙන් ආගමික කටයුතු කිරීමට නොහැකි බවත්, ඇඳිරිනීතිය නොමැති බව සිතා වෙනත් පළාත්වල විහාරස්ථානයන්හි විශාල වශයෙන් පිරිස් සහභාගී කරවාගෙන ආගමික කටයුතු සිදුකළහොත් එය කොවිඞ් වයිරසය පැතිරයාමට හේතුවක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එබැවින් 50 දෙනෙකුට අඩු ඉතා සුළු සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව ආගමික කටයුතු කිරීම රෝගය පැතිරීම වළක්වා ගැනීමට වැදගත් බව ද වෛද්‍යවරයා කීවේය.

විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ කොවිඞ් වයිරසයෙන් දැඩි ජීවිත අවදානමක් මතුවන අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයින් හා දියවැඩියා, හෘද, අධික රුධිර පීඩනය වකුගඩු රෝග ඇති අය නිසි පරිදි ඖෂධ ලබාගැනීමත්, නිවසේම රැඳී සිටීමත් අතිශය වැදගත් බව ද පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Rate this item
(0 votes)