April 25, 2024

ඇමරිකන් විරෝධී සීතා සොයා දුන්නොත් තෑගි

පසුගිය දිනවල ඇමරිකාවට​ එරෙහිව වහසි බස් දෙඩූ ආණ්ඩුවේ දේශපාලකයන් සැඟව සිටින තැන්වලින් සොයා දුන්නොත් වටිනා ත්‍යාග පිරිනමන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊ​යේ (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

"අපේ ඉඩම් ටික සුද්ධ කරන්න තමයි සුද්දා එන්නේ කියලා කියපු වියත් මගේ සීතා නෝනා ​හොයලා දෙන්න කියලා අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. සීතා නෝනව හොයලා දුන්නොත් වටිනා කුඩයකුයි, ටෝච් එකකුයි පරිත්‍යාග කරනවා. පැනමා ඇළ වගේ ආර්ථික කොරිඩෝවක් හදනවා කියපු ගම්මන්පිල මහත්තයා හොයලා දුන්නොත් අපි ඔස්ට්‍රේලියානු ඩොලර් දාහක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විමල් වීරවංශ මහත්තයා හොයලා දුන්නොත් පංචායුධයක් තෑගි දෙනවා. අද මේ සිංහයෝ ටික බලු වෙලා. මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රමුඛතාවන් අතර කොරෝනා වසංගත මර්දනය නෑ. ව්‍යාපාරිකයන්ට ණය සහන කාලයක් දුන්නා. අද ඒ මිනිස්සු කබලෙන් ළිපට වැටිලා. ඒ නිසා මේ ණය සහනය තවදුරටත් දීර්ඝ කළ යුතුයි."

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් චෝදනා කළේ රටට කොවිඩ් 19 වයිරසය බෝ කිරීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවයි.

මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවැසීය.

"එදා ඉඳන් අපි කිව්වා අහඹු පරීක්ෂණ කරලා රටේ මිනිස්සු සම්පූර්ණයෙන්ම මේකෙන් බේරගන්න කියලා. නමුත් ආණ්ඩුව කළේ අපි තමයි ලෝකෙන්ම කොරෝනා පාලනය කරපු දෙවැන්නා කිය කියා හිටපු එක. සමහරු කොවිඩ් දහනවය පාලනය කරපු නිසා ඡන්දෙ දෙන්න කියලත් බැනර් ගැහුවා. ඒ නිසා අද දෙවැනි රැල්ල ඇවිල්ලා. කොරෝනා සමාජගත වෙලා නැහැ කිව්වට ජනගහනයට සාපේක්ෂව ව්‍යාප්තිය වැඩිම රටක් බවට අපේ රට පත්වෙලා. ඒ නිසා ආණ්ඩුව කයිය ගහන් ඉන්නේ නැතුව දැන්වත් මීට අවශ්‍ය පියවර ගත යුතුයි. අද පළමු සම්බන්ධතාවත් ගෙදර නිරෝධායනය කරන තත්ත්වයට පත්වෙලා. මගේ ආසනේ මාළු වෙළෙඳාම් කරපු අය මාළු කඩේට ගිහින් ආවා කියලා පී.එච්.අයි.ලට කිව්වම ඔවුන් ගෙවල්වලම නිරෝධායනය කරලා. පවුලේ අයව ගෙදර නිරෝධායනය කරන්න පුළුවන්. නමුත් මාළු කඩේට ගිය මනුස්සයට පී.සී.ආර්. කරන්නේ නැහැ. එම්.ඩී.එච්​.ගෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇහුවාම කියනවා සතියකට එකපාරයි පී.සී.ආර්. කරන්නේ කියලා. පී.එච්.අයි.ලට පී.සී.ආර්. කිට් (පරීක්ෂණ කට්ටල) දෙන්නේ පහයි කියලා. එතකොට චීනෙන් හම්බවෙච්ච පී.සී.ආර්. කට්ටල විසිපන්දහට මොකද කළේ? මේ රටට කොරෝනා බෝ කළේ ආණ්ඩුව. අද ජනාධිපතිකමත් තියෙනවා. තුනෙන් දෙකත් තියෙනවා. විස්සෙන් ඒකාධිපති බලතල ටිකත් අරගත්තා. පළාත් සභා ටිකත් ​අතේ තියෙනවා. පළාත් පාලන ආයතනවල බලයත් තියෙනවා. ඔක්කොම ටික තියෙනවනේ. ඒ නිසාවත් බෝකරපු කොරෝනාව නැතිකරන්නකෝ."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 October 2020 10:55