April 20, 2024

"ආර්ථික නිවහල්භාවය ලැබෙන්නේ 20 වන සංශෝධනයෙන් පසු" - ගාමිණී වලේබොඩ

මතුව ඇති අවදානම කෙරෙහි පූර්ණ අවධානයෙන් කටයුතු කරමින්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදිමින්, කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය පාලනය කිරීමට සහාය වන ලෙස රත්නපුර දිස්ත්‍රික් ජනතාව ඇතුළු සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සඳහන් කරයි.

රට තුළ පවත්නා කෝවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට වාර්තා කරන සියලුම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල ජනමාධ්‍යවේදීන් ද තොරතුරු වාර්තාකරණයේ දී ඔවුන්ගේ ජීවිතවලට මතු වන අවදානම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවත්, ඔවුන් වෙනුවෙන් රජය මැදිහත් විය යුතු අන්දම ගැන රජයට බල කිරීමට  කොන්දේසි විරහිතව  තමන් සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

19වෙනි ව්‍යවස්ථාව හරහා රටට , සිවිල් සමාජයට , පුරවැසියන්ට රාජ්‍ය පවත්වාගෙන යාමේදී විධායකයට, පැවැති දුෂ්කරතා ඉවත් කිරීමටත්, 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ යහපත් ලක්ෂණ නැවත ඇති කිරීමටත්, විසිවන සංශෝධනය රජය විසින් ඉදිරිපත් කරන බවද,  එහි තවදුරටත් සංශෝධනය විය යුතු කරුණු සංශෝධනය කිරීමෙන් පසු, සහ අලුතින් ඇතුළත් විය යුතු කරුණු ඇතුළත් කිරීමෙන් පසු  පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එකඟතාව පළ කරන බවත්, විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කරුණ සංශෝධනය විය යුත්තක් බව ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

රටක් වශයෙන් දේශපාලනිකව නිදහස ලබා සිටියත්, ආර්ථික නිවහල් භාවය මෙතෙක් ලැබී නොමැති බවත්, 20 වන සංශෝධනයෙන් පසු අතිගරු ජනාධිපතිතුමන් විසින් ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙනු ඇති බව ද, කොන්දේසි විරහිතව ඒ සඳහා එකගත්වය පළ කරන බව ද ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව  ආර්ථික මර්මස්ථානයක් ලෙස කෙතරම් වැදගත්ද යන්න, හීන ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බවත්, මෙරට ව්‍යාපෘති තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමටත් ද්විපාර්ශවීය වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමටත් විනය වැඩි අවධානය යොමු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ඉන්දියාව ජපානය මෙන්ම ඇමෙරිකාවද අවධානයෙන් සිටින බව ද පෙන්වාදුන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඉදිරි සති කිහිපය ඇතුළත ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ප්‍රමුඛ ඇමරිකානු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම හරහා මතු විය හැකි රාජ්‍ය  තාන්ත්‍රය බලපෑම  සම්බන්ධයෙන්ද පූර්ණ අවධානයෙන් පසුවන බව ද පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ද, මේ සම්බන්ධයෙන් රටක් වශයෙන් ජනතාවට වගකියන මහජන නියෝජිතයෙකු ලෙස කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ගාමිණී වලේබොඩ මහතා අවධාරණය කළේය.
Rate this item
(0 votes)