April 20, 2024

වරායේ කොරෝනා නැති බව සභාපති කියයි

කොළඹ වරායේ කිසිවෙකුටත් කොවිඩ් - 19 වසංගතය ආසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා පවසයි.

අද (19) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වරාය තුළ ආයතන රැසක් පවතින බවත්, එවැනි ආයතනයක පුද්ගලයින් පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි ද පවසන ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා, ඔවුන් සමග සම්බන්ධතාවයක් ඇති නොවන ලෙස මේ වන විට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඔහු පැවසීය.

කොළඹ නැව් තටාකාංගනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18) තහවුරු විය.

වරාය අධිකාරියේ සේවකයින් විශාල වශයෙන් කැපවී සෞඛ්‍ය උපදෙස් පිළිපදින බවත් පැවසු ඒ මහතා, නිරන්තරයෙන් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් කියා සිටියේය.

මේ අතර, වරාය තුළට පැමිණෙන නැව් සමග සම්බන්ධ වන නිලධාරීන්ගේ පීසීආර් පරීක්ෂණ නිසි ලෙස සිදුනොවන බවට වරාය වෘත්තීය සමිති විසින් සිදුකර ඇති චෝදනාව සම්බන්ධයෙන් ද මෙහිදී ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා අදහස් පළ කළේය.

“වෘත්තීය සමිතිවල චෝදනා හැමවෙලාවේ ම එල්ල වෙනවා. ඒක හොඳයි. ඒකෙන් ඒ අයගේ අදහස් අපි ගන්නවා. නමුත් වෘත්තීය සමිති කියන විදියට නෙමෙයි අපි වැඩ කරන්නේ. සෞඛ්‍ය බලධාරීන් අවශ්‍යතාවය සහ අපේ අවශ්‍යතාවයන්, ඉෂ්ට වීමට අපි වැඩ කරන්නේ. ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒවාගේ අඩුපාඩු සාකච්ඡා කරන්න පුළුවන්. සෞඛ්‍ය නිලධාරින් නිරන්තරයෙන් මෙතෙන ඉන්නවා. ඔවුන් ඒවා බලනවා. වැරදි කරන අයට දඬුවම් කරනවා. “

Rate this item
(0 votes)