March 28, 2024

ආණ්ඩුව 20 වශියෙන් කොවිඩ් අමතක කරලා - සජිත්

ආණ්ඩුව බොරුව සත්‍ය බවට ජපකරමින් ගොබෙල්ස් න්‍යායට අනුව ඒ බොරු ඇට මිදුළුවලට කාන්දුකොට ඇති බවත්,එහෙත්  කවදා හෝ සත්‍ය හෙළිවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ගල්කිස්ස, ධර්මපාලාරාමයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ඡන්දයට පෙර Covid 19 ගැන ආණ්ඩුවේ තිබූ උනන්දුව ඡන්දයෙන් පසු විස්සේ වශීයට යටවී ඇති බව ප්‍රේමදාස මහතා කියාසිටියේය. 

රටේ උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ජනතාවගේ ප්‍රමුඛතම අවශ්‍යතා කිසිවක් පිළිබඳව තැකීමක් නොකරන ආණ්ඩුව ඒ වෙනුවට 20 වෙනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එල්ලී කටයුතු කරමින් හිඳින අතර ඊට තමන් අප්‍රසාදය පළ කරන බවද මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.  

මීට දෙදිනකට පෙර විපක්ෂ නායකයා ලෙස නිවේදනයක් නිකුත් කරමින් කොරෝනා උවදුර නිසා පීඩා විදින ජනතාවට වහාම අත්‍යාවශ්‍ය අවශ්‍යතා ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දාහක් ලබාදීමට ආණ්ඩුව  කටයුතු කිරීමෙන් ඔප්පු වන්නේ විපක්ෂ නායකයා කියන දේ ආණ්ඩුව කරන බව නොවේද යන්න පිළිබඳවද ප්‍රේමදාස මහතා කරුණු දැක්වීය.  

''ආසාදිතයින් අරගෙන ගිය සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල සාමාජිකයින් එකට නිරෝධායනය කරන්න හදනකොට අපි පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට  කීවා ඒ අයව වෙනම නිරෝධායනය කරන්න කියලා. එදාම හවස ආණ්ඩුවට  ඒක කරන්න වුණා. ආසාදිතයින් සහ ආසාදිතයින් නොවෙන අය එකම වාහනවල ප්‍රවාහනය කරන කොට අපි පාර්ලිමේන්තුවේ දී බාධාවන් මැද කීවා ඒක කරන්න එපා කියලා. එදා හවසම ආණ්ඩුවට ඒ ඉල්ලීම ඉටු කරන්න වුණා. කොරෝනා ව්‍යසනය නිසා අන්ත අසරණ වෙච්ච ජනතාවට අඩු තරමේ අත්‍යාවශ්‍ය ආහාර ටික ගන්නවත් රුපියල් පන්දාහ නොදෙන එක ගැන පහුගිය 15 වෙනිදා විශේෂ නිවේදනයක් කරලා අපි හෙළිදරව් කළා. අද කොටසකට කිසියම් සහනයක් දෙන බවට කෙටි පණිවිඩයක් ආවා".

කෙසේ වෙතත් මේ මහා ව්‍යසනය අවස්‍ථාවේ පවා ආණ්ඩුව 20 වෙනි සංශෝධන වශියට හසුවී සිටින අතර  ජනතා ප්‍රශ්න අමතක කොට ඇති බවත්  ජනතාව තමන්ට ලබාදුන් මන්ත්‍රීවරු ප්‍රමාණය සමග එක්ව ආණ්ඩුවේ විස්ස පරාජය කිරීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කරන ලදී. 

පාස්කු ප්‍රහාරයට හේතුව 19 වැනි  ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ අඩුපාඩු බවට හිටපු ජනාධිපතිවරයා  කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ  නායකය ලෙස ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පාස්කු ප්‍රහාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බවයි. 

ප්‍රශස්ත  ප්‍රබුද්ධ පාලකයෙකුට එවැනි ප්‍රහාර වළක්වා ගැනීමේ හැකියාව තිබියයුතු බවත් රටක පාලකයෙක් වූ විට කළ යුත්තේ පෞද්ගලික රුචි අරුචිකම් මැද කටයුතු කිරීම නොවන බවත් ජනතාව වෙනුවෙන් සිය අපේක්ෂාවන් ඉටු කිරීම  බවත් ඔහු සඳහන් කළේය. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදී යහපත් රාජ්‍ය පාලන මූලධර්ම උපයෝගී කරගෙන 19න්  ඔබ්බට වැඩපිළිවෙල  ක්‍රියාත්මක කිරීම සිය අරමුණ බව පැවසූ ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවයා හෝ අගමැතිවරයා පඹයෙක් බවට පත් කරන ක්‍රමවේදයක් වෙනුවට සංවරණ හා තුලන ක්‍රමවේදයක් 19+ තුළින් ක්‍රියාත්මක කරන බවයි. 

Rate this item
(0 votes)