March 29, 2024

ශ්‍රී ලංකාවට ණය ගෙවීම අපහසුයි - තවත් මුල්‍ය ආයතනයක් අනතුරු අගවලා

ලෝකයේ තවත් ප්‍රධානතම ආයෝජන බැංකුවක් වන මෝර්ගන් ස්ටැන්ලි ආයතනය ද ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාවෙහි අවදානම් තත්වයක් පිළිබඳ උපකල්පන සහිත වාර්තාවක් නිකුත් කර ඇති බවත් ආණ්ඩුව විහිළු කරමින් නොසිට මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත හැකි මට්ටමේ ක්‍රමවේදයක් සකස් කරගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. 

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"දැන් අපි දැක්කා ජේ.පී. මෝර්ගන් ආයතනය නිකුත් කරලා තිබ්බා නිවේදනයක්. ඒකෙ කියලා තිබ්බා ලංකාවේ විදේශ ණය ගෙවීම පිළිබඳව අතිශය ගැටළුකාරී තත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා. ජේ.පී. මෝර්ගන් කියන්නෙ ලෝකෙ තියෙන ප්‍රධානතම ආයෝජන බැංකුවක්. ඔවුන් වගේ ඉන්වෙස්ට්මන්ට් බෑන්ක්ස් හරහා තමයි ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳපොලට නිකුත් කරන්නෙ. ඉතිං ඔවුන්ගේ මතය ඉතාමත්ම වැදගත්. 

ඊට ටික දවසකට පස්සේ මූඩීස් ආයතනය විසින් ලංකාව කවදාවත් නොවිච්ච විදියට කාණ්ඩ දෙකකින් ශ්‍රේණිගත කිරීමේ පල්ලෙහාට දාලා CAA 1 කියන ඉතාමත්ම අවදානම් තත්වයට නම් කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අලුත්ම වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නෙ මෝර්ගන් ස්ටැන්ලි කියන ආයෝජන බැංකුවෙන්. 

එතකොට ජේ.පී. මෝර්ගන් වගේම මෝර්ගන් ස්ටැන්ලි කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානතම ආයෝජන බැංකු. මොවුන් තමයි ආයෝජකයෝ ගේන්නෙ නොයෙකුත් රටවල්වල ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කරන්න. අනිත් පැත්තෙන් බැලුවාම අපේ ස්වෛරී බැඳුම්කර වල 50%ක වගේ ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙන්නෙ ඇමරිකාවෙන්. මේ ජේ.පී. මෝර්ගන්, මෝර්ගන් ස්ටැන්ලි කියන්නේ ඇමරිකාවෙ නිව්යෝර්ක් නගරයේ තියෙන, ලෝකෙ පුරා විහිදුණු ආයතන. 

ඉතිහාසයේ ප්‍රථම වතාවට මොවුන් ගණන් හදලා පෙන්නනවා ලංකාව විසින් ඔවුන්ගේ ණය ගෙවාගන්න බැරි තත්වයක් උදා වුණොත් ආයෝජකයන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ. ඔවුන් කියනවා ටේල් රිස්ක් සිනාරියෝ කියලා. යමක් වෙන්න තියෙන අවදානමේ ප්‍රතිශතය අඩුයි. 5%කට වාගේ ප්‍රමාණයකට වෙන්න පුළුවන්. නමුත් ප්‍රථම වතාවට එහෙම දෙයක් වෙන්න පුළුවන් කියන උපකල්පනය ලෝකයේ ප්‍රධානතම ආයෝජක බැංකු විසින් ඉදිරිපත් කරලා එහෙම වුණොතින් වෙන්නෙ මොකක්ද කියන එක සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා තියෙනවා. 

මොකද අපි කිසි දවසක අපේ ණය ගෙවීම පැහැර හැරලා නෑ. දැන් මේ ඉහළ තිබිච්ච විශ්වාසය සීඝ්රයෙන් පහළට කඩාගෙන වැටිලා. දැන් කියනවා ඩෙබ්ට් රීප්‍රොෆයිලින් එකක් කරෝතින් මොකක්ද ඔවුන් නියෝජනය කරන ආයෝජකයින්ට අත්වන ඉරණම කියලා. මම නැවතත් කියනවා මොවුන් කියන්නෙ නෑ නියත වශයෙන්ම ලංකාවට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා. මොවුන් එහෙම කියන්නේ නෑ. වගකීමකින් මේ කතාව කියන්න ඕනෙ. මොකද මේ ප්‍රථම වතාවට මෙහෙම කතාවක් සාකච්ඡා වෙන්නෙ මේ රටේ. ඒ නිසා මම නැවතත් කියනවා වගකීමෙන්, ඔවුන් නියත වශයෙන් මෙවැනි සිද්ධ වෙනවා කියන්නෙ නෑ. ඔවුන් කියන්නෙ ටේල් රිස්ක් සිනාරියෝ. මේ ටේල් රිස්ක් සිනාරියෝ කියන එක පාවිච්චි වෙන්නෙ ජාත්‍යන්තර වෙළඳපොලේ යමක් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි, නමුත් වෙන්න පුළුවන් කියන එකට. 

ඔවුන් කියන්නෙ සමහරවිට මාස 18ක් අපේ ජාත්‍යන්තර බැඳුම්කරවල පොලී ගෙවන එක නවත්තන්න සිද්ධ වෙයි, අපේ වාරික ( මේවා මේ තියෙන ජාත්‍යන්තර බැඳුම්කර එකපාර ගෙවන්න ඕනෙ. අපි කවුරුත් දන්නවා ඔක්තෝබර් මාසෙ පළවෙනිදා එකපාර ඩොලර් බිලියනයක් ගෙව්වා. එකපාර ගෙවන්න තියෙන්නෙ කල්පිරෙන දිනයට ) කල්පිරෙන දින සමහර වෙලාවට අවුරුදු පහකින් කල්දාන්න වෙයි කියනවා. කවදාවක්වත් නොවූ සිද්ධියක්, ඔවුන්ගෙ උපකල්පනයක් තියෙනවා යම්කිසි ප්‍රතිශතයක් කුඩා හෝ දැන් මතුවෙලා තියෙනවා ලංකාවට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා. 

දැන් මොවුන් කියන්නෙ 2020 අගෝස්තු ඉඳලා 2021 අගෝස්තු වෙනකල් ( පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් ) අවුරුද්දක කාල පරිච්ඡේදයට ඇමරිකන් ඩොලර් බිලියන 9ක ගෙවීම් අපට කරන්න තියෙනවා. එහෙමත් නැත්නම් ගැප් එක, හිඩැස මේගොල්ලො කියන්නෙ අපට ඩොලර් වලින් ලැබෙන ආදායම් සහ ඩොලර් වලින් ගෙවන්න තියෙන වියදම් අතර පරතරය ඩොලර් බිලියන 9ක්. එතකොට ජාත්‍යන්තරය බලාපොරොත්තු වුණා අපට මේ සියලු ක්‍රමවේද හරහා අපට පුළුවන් වෙයි කියලා අර ඩොලර් බිලියන 9ක හිඩැස කවර් කරගන්න. 

මේකෙම කියනවා නිවාඩ් කබ්‍රාල් මැතිතුමා ටෙලිෆෝන් කෝල් වගයක් දීලා තිබුණා ප්‍රධාන ගෝලීය ආයෝජකයන්ට, හැබැයි ඒ කෝල්වලින් පස්සෙ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටුණයි කියලා. ශක්තිමත් වුණා නෙවෙයි කියලා. මොකද මොවුන් කියන්නේ අපි යතාර්ථය තේරුම් අරගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන විදියේ කළමනාකරණයක් කරනවා නම් ලංකාව වැටෙන්න තියෙන තැන, ඒ ප්‍රශ්නයේ බැරෑරුම්කම ඉස්සරහදි යම්කිසි විදියකට අඩුකරගන්න පුළුවන් කියලා. මේ විහිළු කරන එකට වඩා කළ යුත්තේ ඇත්ත තත්වය තේරුම් අරගෙන ඒකට මුහුණ දෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගන්න එක. සමහර වෙලාවට රජය කැමති නැතුව ඇති මේ රීප්‍රොෆයිල් කරන්න. හැබැයි රීප්‍රොෆයිල් කළේ නැත්නම් ඊළඟට එන්නෙ මොකක්ද ? රීස්ට්‍රක්චරිං එකක් එන්නෙ. ලෝකෙට කියන්න වෙනවා අපට ගෙවන්න තියෙන පොලිය යම්කිසි ප්‍රමාණයක් අපට ගෙවාගන්න බෑ, අපට කල්පිරෙනවිට ගෙවන්න තියෙන ණය ලබාගත්ත මුළු ප්‍රමාණය අපට ගෙවන්න බෑ කියලා. එහෙම වුණොත් අපට විශාල පහරක් වදිනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

Rate this item
(0 votes)

Related items