October 20, 2020

වෙන කවදාටත් වඩා කොරෝනා වැඩේ බරපතලයි - GMOA

කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් මෙරට තුළ ආරම්භ වී ඇතැයි තවමත් ප්‍රකාශ කළ නොහැකි නමුත් එවැන්නක් සිදුවීමේ අවදානම වෙන කවදාටත් වඩා මෙරට තුළ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරනවා මේ ලෝකෙ ජීවත් වෙන හැම දහ දෙනෙක්ගෙන්ම එක්කෙනෙකුට එක්කො කොවිඩ් හැදිලා, එහෙම නැත්නම් දැනටත් කොවිඩ් තියෙනවා කියලා. එතකොට ලෝක ජනගහණය බැලුවාම සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරනවා අපට වාර්තා වෙලා තියෙන්නෙ මිලියන 38 වුණාට ඇත්තම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 800ක් විතර වෙනවා කියලා. ඒක ඉතාම බැරෑරුම් සංඛ්‍යාවක්. කීදෙනෙක් මේ වෙනකොට වෛරස් එක ඇඟේ තියාගෙන ඉන්නවද කියන එකත් එක්ක තමයි ඊළඟ ප්‍රශ්නෙ එන්නෙ. 

අපි තාම අපේ රෝගීන් ටික මැප් කරගෙන නෑ. සිතියම්ගත කරගෙන නෑ. අඩුම ගාණෙ මේ පොකුර සිතියම්ගත කරන්න අපට බැරිවෙලා තියෙනවා. කරන්න පුළුවන් පිරිසවත් අපි මැප් කරලා නෑ. දැන් මං 15 වෙනිදා අරුණ පුවත්පත බැලුවාම  මං දැක්කා කලින් 14 දිනයේ ආසාදිතයින් වාර්තා වෙච්ච ප්‍රදේශ සංඛ්‍යාත් එක්ක තියෙනවා. උදාහරණයක් විදියට මේ ඇඟළුම් කම්හලේ සේවකයින්ගෙ ආශ්‍රිතයන් ගම්පහෙන් 36, හොරණින් 1, මිනුවන්ගොඩින් 38, අනුරාධපුරෙන් 2, කිරිඳිවැල 1, රාගම 4, ගනේමුල්ල 1, රත්නපුර 4, කළුතර 1, දිවුලපිටිය 34, සීදූව 42යි. සීදූවට ඇඳිරි නීතිය තිබුණෙත් නෑනෙ දවස් කීපයක් යනකල්. ඊගාවට කැළණිය 2, කොළඹ 7, දොම්පේ 1, මීරිගම 7, ජා ඇල 1, කුරුණෑගල 4, පොලොන්නරුවෙ 1, මීගමුව 4, රත්මලානෙ 1, නුගේගොඩ 1, කඩවත 2, හැටන් වල 1යි. දැන් මේ ලංකාව පුරාම. ඒ හින්දා තමයි අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමාත් කිව්වෙ දිස්ත්‍රික්ක 21ක් දක්වා මේක දැන් මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. 

තියෙන දරුණුකම තමයි මේ රැල්ලේ, එහෙම නැත්නම් මේ පොකුරේ ... දවස ගාණෙ ලෙඩ්ඩු 100 - 200 ගාණෙ අපට එකතු වෙනවා රෝහල් පද්ධතියට. නමුත් ටිකට් කපලා ගෙදර යන්නෙ ලෙඩ්ඩු 15 - 20 වගේ ප්‍රමාණයක්. ඒ හරහා මොකක්ද වෙන්නෙ, දවස ගාණෙ රෝහල් පද්ධතියෙ තදබදය, ධාරිතාව දවස ගාණෙ අර්බුදයකට යනවා. වාසනාවකට තාම අපට රෝගී සංකූලතා ඇතිවෙලා දැඩි සත්කාර ඒකකවල දාන්න සිද්ධ වුණේ නෑ. ඒනිසා ඒ සම්බන්ධයෙන් අපි වාසනාවන්තයි, ඒක ගැන සහතිකයක් තියෙනවා. 

නමුත් රෝහල් පද්ධතිය තුළ ධාරිතාවය සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා නම් පැහැදිලිවම රෝගීන් රෝහල්වලින් ටිකට් කපලා යවන ක්‍රමවේදය හැමතැනටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනෙ. මොන ක්‍රමවේදය වුණත්. අපි මෙච්චර දවසක් පාවිච්චි කළේ පීසීආර් පරීක්ෂණ දෙකක් පැය 24ක කාලයක් තුළ රිපීට් කරනවා, දෙකම නෙගටිව් වුණොත් ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. එකක් හරි පොසිටිව් වුණොත් එහෙම අපට පුළුවන් ඇන්ටිබොඩි ටෙස්ට් එකට යන්න. ඇන්ටිබොඩි ටෙස්ට් එක හරහා අපට පුළුවන් වෙනවා ඒ ක්‍රමවේද මගින් බලලා රෝගියාව රෝහලෙන් නිදහස් කරන්න. 

මොකද රෝහල් ඇඳන් ටික හිස් කරගන්න එක ඉතා වැදගත් වෙනවා රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙන එක, එහෙම නැත්නම් ධාරිතාවය ඉක්මවා යන එක වළක්වා ගන්න. 

අපිට මේ වෙනකොට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි වෙන කවදාටත් වඩා සමාජ ව්‍යාප්තියක් කරා යන්න තියෙන අවදානම වැඩිවෙලා තියෙන්නෙ මේ මොහොතෙදි. තාම සමාජ ව්‍යාප්තියක් වෙලා කියලා ප්‍රකාශයට පත්කරන්න බෑ. නමුත් අපි අද ගන්න තීරණත් එක්ක තමයි සමාජ ව්‍යාප්තියට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. වෙන කවදාටත් වඩා වැඩි අවදානමක් මේ මොහොතෙදි මතුවෙලා තියෙනවා. 

එක, වසංගත රෝග විද්‍යා අංශයට අපි කිව්වා කරුණාකරලා රටට, ජනමාධ්‍යයට, දේශපාලන බලධාරීන්ට, සියලු දෙනාට පැහැදිලි කරලා කියන්න මේකට තියෙන අවදානම මොකක්ද, දැන් අපි කොහෙද ඉන්නෙ කියලා. ඒක තාක්ෂණිකව පැහැදිලි කරන්න කියන කාරණය. අපි දැක්කා 14 වෙනිදා සිද්ධි ගණනාවක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අර මතුගම ඒසී බස් එකක වෙච්ච සිද්ධියත් එක්ක. ඒ සීඝ්රගාමී බස් රථයේ රියදුරු, කොන්දොස්තර, අයිතිකරු සහ තවත් මගියෙක් ආසාදිත වුණා. එතන එක කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ වැඩකරන හෙදියක්. එතකොට ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකය වහලා දාන්න සිදුවුණා. එතකොට මේ අවදානම මත තවදුරටත් ඉස්සරහට යන්න අපි ලොකු අභියෝගයකට අපි මුහුණ දීලා ඉන්නවා. 

මොකද ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව තව වැඩිවෙන්න ඉඩකඩ තියෙනවා. ඒ ඉඩකඩ තියෙන අවස්ථාවෙදි රෝගීන් ඉස්පිරිතාලෙට එනකොට ඉස්පිරිතාලෙ ඉන්න ඕනෑ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය ඒ අයට ප්‍රතිකාර කරන්න. දැන් මේ යන විදියට අපට රෝහල් ටිකේ වාට්ටු ටික වහගෙන යන්න ගියොත් අපට ලොකු අවදානමකට මුහුණ දෙන්න වෙනවා ඉදිරියේදී රෝගී ජීවිත බේරාගන්න" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)

Related items