April 23, 2024

අසේල සම්පත් අත්අඩංගුවට

මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු අසේල සම්පත් ඊයේ( 15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔහු කළා යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දීග යෑමෙනි.

ලෝක අහාර දිනය සැමරීමට පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සූදානම්ව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවටත් මේ වන විට ඔහු පිලියන්දල පොලිසියේ රදවා ගෙන ප්‍රශ්න කරන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ආරංචිය පිළිබඳ අපි ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී අනාවරණය වූයේ,

මොහු වසර 3 ක පමණ කාලයක් කුලී පදනම මත සිටි නිවසේ මාස කීපයක් ජල හා විදුලි බිල්පත් නොගෙවා නිවස භාර දී ඇත.

නිවෙස් හිමි කාන්තාව පසුව එම නිවස වෙනත් අයකුට කුලියට දී ඇති අතර හිඟ ගාස්තු නිසා විදුලි බල මණ්ඩලය විසින් නිවසේ විදුලිය විසන්දි කිරීමට පැමිණ ඇත.

පසුව නිවෙස් හිමි කාන්තාව ඇගේ පුත්‍රයාද සමග අසේල සම්පත් දැන් සිටින නිවසට ගොස් මේ බව දැනුම් දී හිඟ ගාස්තු ගෙවන ලෙස ඉල්ලා ඇත. මෙහිදී කුපිත වූ අසේල සම්පත් අදාල කාන්තාවට හා පුත්‍රයාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදී ඇත. පසුව අසේල සම්පත් 119 පොලිස් හදිසි ඇමැතුම් අංශය අමතා තමන්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරසක් තමන්ට පහර දෙන බවට ව්‍යාජ පැමිණිලි කර ඇත.

119 පොලිස් නිලධාරීන් අසේල සම්පත් ගේ නිවසට ගොස් ඇති අතර පැමිණිල්ල විභාග කිරීමට දෙපාර්ශ්වයටම පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. මෙහිදී පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කළ අසේල සම්පත් පොලිස් නිලධාරීන්ටද බැන වැදී නිවස තුළට ගොස් දොර වසාගෙන ඇත.

පසුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සාපරාධී බලහත්කාරය හා පොලිස් අනට කීකරු නොවීම යන චෝදනා යටතේ අසේල සම්පත්ව අත්අඩංගුවට ගෙන ඇත.

අසේල සම්පත්ට පහර දුන්නා යැයි කළ පැමිනීම අනුව අදාල කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට දෙපාර්ශ්වයම පිලියන්දල පොලිස් භාරයේ සිටී. පිලියන්දල පොලිසිට වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

119 නිලධාරීන් අසේල සම්පත්ගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු හැසිරුනු ආකාරය පිළිබද විඩියෝවක් මේ වන විට සමාජමාධ්‍යයේ සැරිසරයි.

Rate this item
(0 votes)