April 18, 2024

20 ට පක්ෂ උනාට කමක් නෑ ආණ්ඩුවට රිංගන්න එන්න එපා - ජානක වක්කුඹුර

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය බහුතරය සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය බහුතරය ජනතා විසින්ම ආණ්ඩුවට ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (03) ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය.

බහුතරය ආණ්ඩුව සතුව පවතින නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය බලාපොරොත්තු නොවන බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට 20 වැනි සංශෝධනය සඳහා පක්ෂව ඡන්දය ලබාදිය හැකි බවද අමාත්‍යවරයා පවසයි.

20 ට පක්ෂ වූ පමණින් එය ආණ්ඩුවට සහාය දැක්වීමක් ලෙස හැඳින්විය නොහැකි බවත්, රිෂාඩ් බදියුදීන් වැනි බරපතල චෝදනා එල්ල වී ඇති, බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරුන් 20 කට පක්ෂ වුවද ආණ්ඩුවට එකතු කර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් වක්කුඹුර මහතා පවසයි.

ඉදිරි මාසයක පමණ කාලය තුළදී 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා පවසයි.

Rate this item
(0 votes)