April 19, 2024

අයවැයක් නොමැතිව වසරක් ගතවෙයි - 2021 අයවැය නොවැම්බර් 17වැනිදා පාර්ලිමේන්තුවට

2021 වසර සඳහා වූ අය වැය ලබන නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය.  

කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ ඊයේ (30) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා අය වැය ඉතිහාසයේ අය වැය ලේඛනයක් නොමැතිව මේ වසර රජයේ ආදායම් වියදම් සිදු වීම විශේෂත්වයකි.

එනමුත් මේ වසර සඳහා අතුරු සම්මත ගිණුම් මඟින් ආදායම් වියදම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සිදු කෙරිණි.

මේ වසරේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 9%ක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද එනමුත් ලබන වසරේ අය වැය හිඟය කොතරම් අභියෝග හමුවේ වුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.5%ක් මට්ටමකට රඳවා ගැනීමට බලාපොරොත්තු වන බවද ආටිගල මහතා සඳහන් කළේය.

අගමැති හා මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කරනු ඇත. ජනාධිපති‍ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව තුළ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයත්, ජනතාවගේ ආර්ථික දියුණුවත්, සුබසාධනයත් සැලසෙන අතරම බිඳවැටී ඇති ව්‍යාපාර සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය නැවත බලගැන්වීම සඳහා වූ යෝජනා අය වැය තුළින් රජය ඉදිරිපත් කරනු ඇත.

Rate this item
(0 votes)