March 29, 2024

නවකවදයට වැට බදී - අධ්‍යාපන ඇමැතිවරයා දැඩි තීන්දුවක

නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් ද සහභාගි කර ගනිමින් වෙන්වෙන් වශයෙන් වූ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර එහිදී එම තීරණය ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී කෝවිඩ් 19 හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සහ එහි කටයුතු නිසියාකාරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

නව ලොවටගැළපෙන පරිදි විෂය නිර්දේශයන් සකස් කිරීම, රැකියා අපේක්ෂාවන් බලගැන්වීම සඳහා භාෂාපුහුණු වැඩසටහන් පැවැත්වීම, වෘත්තිය උපදේශනය සඳහා ක්‍රමානුකූල ප්‍රතිපාදනයන් ඇතිකිරීම සහ විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටත පුද්ගලයින් විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයන්ට සහ කවුන්සිලයන්ට පත් කර ගැනීමේ දී සලකා බැලිය යුතු නිර්ණායකයන් කවරේ ද යන්න සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී වර්තමානයේ දී අත්‍යවශ්‍ය කරුණක්ව පවතින විෂය නිර්දේශ සහ ඉගැනුම් ක්‍රමවේදයන්හි සිදුවිය යුතු වෙනස්කම් කළ යුතු ආකාරය පිළිබඳව අදහස් ලබාගැනීමට දෙමව්පියන්, ගුරුවරුන්, සිසුන් ආදී ශිෂ්‍ය සංගම් සහ අදාළ අනෙකුත් පාර්ශවයන් සමඟින් දිවයිනම ආවරණය වන පරිදි අදහස් විමසීමේ සැසියන් පැවැත්වීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ.

Rate this item
(0 votes)