April 16, 2024

කරුණා අම්මාන් මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කරන්න

විනයාගමුර්ති මුරලිදරන්  හෙවත් කරුණා අම්මාන්  කළ ප්‍රකාශය මගින් 1979 අංක 48 දරණ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පාර්ලිමේන්තු  පනතේ 81 වන වගන්තිය උල්ලංගනය කර ඇති බැවින් වහාම  ක්‍රියාත්මක වන පරිදි ඔහු මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (29) කොළඹදී පැවසූහ.

මිනීමරුවෙකු, ත්‍රාස්තවාදියෙකු  ලෙස තමන් විසින්ම  සාපරාධී ක්‍රියා කළ බවට  ප්‍රතිඥා දෙන කරුණා අම්මාන් සමග සන්ධානගතවන සියලු දෙනාම  මේ සම්බන්ධයෙන්  වගකියුතු බවත් පැවසූ උන්වහන්සේ කරුණා අම්මාන් වරදක් කර නොමැති බවට  සුදුහුනු ගාන  දේශපාලන නායකයින් පිළිබඳ  කනගාටුවට පත් වන බවද සඳහන් කළහ.

කරුණා අම්මාන් මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් අද දිනයේ ලිඛිතව ඉල්ලීමක් කළ බවද නාරාහේන්පිට රාමඤ්ඤ නිකාය මූලස්ථානයේදී ජාතික විද්වත් සංඝ සභාව   කැඳවූ  මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ  මෙසේද පැවසූහ.

 “විනයාගමුර්ති මුරලිදරන්  හෙවත් කරුණා අම්මාන් එල්. ටී. ටී. ඊ සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා විදියට  කරපු අපරාධ ඔහුගේ කටවචනයෙන්ම ප්‍රකාශ කළා. යුද්ද හමුදාවේ තුන්දාහක් පමණ මරා දැමු බවට ඔහු ප්‍රකාශ කළා. ඔහුගේ ප්‍රකාශය පිලිබඳ  අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිටත් පැමිණිලි කළා.

කරුණා අම්මාන්  කළ මේ ප්‍රකාශයන් මගින් 1979 අංක 48 දරණ  ත්‍රස්තවාදය වැළැක්විමේ පනත උල්ලංගනය කරලා තියෙනවා.  ඒවගේම පාර්ලිමේන්තු  පනතේ 81 වන වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා.  මේ ආකාරයෙන් නීතිවිරෝධීව කටයුතු කරපු පුද්ගලයෙක්  මෙවර මහමැතිවරණයට තරඟ කරනවා.

මෙබදු සාපරාධී ක්‍රියාකළ,  එසේ ක්‍රියා කළ බවට  තමන් විසින්ම  ප්‍රතිඥා දෙන මිනීමරුවෙක්, ත්‍රාස්තවාදියෙක්  මෙවර මැතිවරණයට  තරඟ කිරීම සඳහා සුදුසුකම්  ලබන්නේ නැහැ. ඔහු බරපතල  ලෙස අපරාධ කළ කෙනෙක් බැවින් වහාම  ක්‍රියාත්මක වන පරිදි ඔහු මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කළ යුතුයි.  මේ පිළිබඳ අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන්  ලිඛිතව ඉල්ලීමක් කළා.

දෙමළ ජනතාවගේ විවිධ විදියේ දේශලපාලන නායකත්වයන් තියෙනවා.  සම්බන්ධන්ලා,  විග්නේෂ්වරන්ලා නොයෙක් ආකාරයෙන්  තම තමන්ගේ  දේශපාලන අදහස් ප්‍රකාශ කරනවා.   ඔවුන් ෆෙඩරල් ඉල්ලයි,  දෙමල ජනතාවට වෙනම පාලන තන්ත්‍රයක් ඉල්ලයි.  නමුත් අපි මිනීමැරුවා කියලා ඔවුන් කවදාවත් ප්‍රතිඥා දීලා නැහැ.

තමන් අතීතයේ කරපු වැරදි පිළිබද සංවේගයට පත්වෙලා වැරදි තේරුම්ගෙන  ඉදිරියේදී එවැනි වරදක්  කරන්නේ නැහැ කියන ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රවාහයට ආවා කියන මතය යටතේ තමයි කරුනා අම්මාන් දේශපාලනයට පිවිසිලා තියෙන්නේ.  ඒ අනුව ඔහුට දේශපාලන පක්ෂවල උපසභාපති කම් ලැබුණා. නියෝජ්‍ය  ඇමතිකම් ලැබුණා. එහෙමනම්  මේ පුද්ගලයා දේශපාලන ක්ෂේත්‍රයේ  අනික් නායකයන් මෙන්ම ආණ්ඩුව  රවටා තමන්ගේ  ත්‍රස්තවාදි අරමුණු  ඉදිරියටත් ක්‍රියා කිරීමේ අරමුණින්  තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රවාහයට ආවයි කියන  බොරුව කළේ. එහෙමනම් කරුනා අම්මාන්  කියන්නේ බැටලුහම පොරවා ගත් බයානක කොටියෙක් බව ඔහුගේ මේ ප්‍රකාශයත් එක්ක පැහැදිලි වුණා.

කරුනා අම්මාන් එදා  කොටි ත්‍රස්තවාදී  නායකයෙක්  හැටියට කරන ලද ත්‍රස්ත ක්‍රියාවලට  මුලු රටම ඔහුට සමාව දුන්නා.  ඒ සමාව දීපු අවස්ථාවේ දකුණින්  වෙනත් දේහපාලන පක්ෂවලින් විරෝධතාවයක්  ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන් පුනරුත්තාපනය  වෙලා  සමාජගතවීම අපි බාරගත්තා. නමුත් අපි හිතුවේ නැහැ  කරුනා  අම්මාන් ත්‍රස්තවාදයක් පිළිබඳව අභිමානයෙන් කතාකරන තත්වයට පත්වේවි කියලා.

යටපත්වූ ත්‍රස්තවාදය යළිත් මතුකරමින් ඔහු වීරත්වයක් ආරෝපනය කරගෙන තමයි මේ ප්‍රකාශය කරලා තමයි මේ ඡන්දය ඉල්ලන්නේ.  මෙවැනි මිනීමරු ත්‍රස්තවාදින්ද අපේ  පාර්ලිමේන්තුවට  අපි පත්කරගන්නේ කියලා තීන්දුවක් ගත යුතුයි.

ඔහුත් එක්ක සන්ධානගතවන සියලු දෙනාම  මේකට වගකියන්න ඕන. විශේෂයෙන්ම කරුනා අම්මාන් කරපු  මේ  බරපතල ප්‍රකාශය ගැන අපි අතිශයින්ම  සංවේගයට දුකට පත්වෙනවා. කරුනා අම්මාන් වරදක් කලේ  නැහැ කියලා ඔහුට සුදුහුනු ගාන  දේශපාලන නායකයින් පිළිබඳ  අපතුළ ඊටත් වඩා කනගාටුවක් ඇතිවෙනවා.

මේ වෙලාවේ මැතිවරණයය සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කරනවා.  එහෙමනම් මැතිවරණ කොමිසමේ  සභාපතිවරයා මේ නීතිවිරෝධී  මනුෂ්‍ය ඝාතකයා පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබඳ නීතිගරුක සමාජයක් විදියට අපි බලාගෙන සිටිනවා.

තමා සන්තකයේ නීති විරෝධී ආයුධයක් තිබිම පිළිබඳ ඌවතැන්නේ  සුමන කියන හාමුදුරුනමක්  පසුගියදා ජිවිතාන්තය දක්වා සිරගත කලා. එවැනි තීන්දුවක් දුන් අධිකරණය දහස් ගණනක්  රණවිරුවන්  මැරුවා කියලා තමන්ගේ  කටින්ම සාක්ෂිය දෙන මේ මිනිමරු  ඝාතකයා  සම්බන්දයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා සාධාරණ සමාජය ප්‍රශ්න කරනවා”යයිද උන්වහන්සේ එහිදී පැවසූහ.

Rate this item
(1 Vote)