April 20, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

 ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
 
එම රටවල් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් වුවහොත් ඉක්මනින් ම දෙවැනි රැල්ලක් ඇතිවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් යුතුව පෙන්වාදෙයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා අංශයේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් එම අනතුරු ඇඟවීම කළේය.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ දෛනික ගෝලීය තත්ත්වය දැනුම් දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීහු මෙම මාධ්‍ය හමුව පවත්වති. දෛනිකව පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙයි

ඇතැම් රටවලින් දෛනික වාර්තා වන ආසාදිතයන්ගේ ගණන අඩු වී තිබුණත් මධ්‍යම සහ දකුණු ඇමෙරිකානු, දකුණු ආසියානු සහ අප්‍රිකානු කලාපවලින් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණනේ වැඩි වීමක් දක්නට පුළුවන් යැයි ද වෛද්‍ය මයික් රයන් එම මාධ්‍ය හමුවේදී පැවැසීය.

නව කොරෝනා වයිරසය පළමු රැල්ල පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් වුවහොත් ආසාදිතයන් වාර්තා වීම වේගයෙන් ඉහළ යා හැකි යැයි ද ඔහු කීය.

‘‘අපි තවමත් ඉන්නේ වයිරසයේ පළමු රැල්ල තියෙන කාලයේ. ආසාදිතයන් වාර්තා වීම අඩු වූ පමණින් අපට නිගමන හා තක්සේරුවලට එන්න බැහැ. වයිරසය පළමු රැල්ල සීමා කිරීමට පැනවූ සීමා ඉවත් කරන්න ඉක්මන් වුවහොත් පළමු රැල්ල තිබියදීම වයිරසයේ දෙවැනි රැල්ලක් එන්න පුළුවන්’’ යැයි හෙතෙම කීවේය.

එම නිසා යුරෝපයේ සහ උතුරු ඇමෙරිකානු කලාපයේ පමණක් අනෙක් සෑම රටක්ම මහජන සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දිය යුතු බවත් සෞඛ්‍යාරක්ෂිත සමාජ ක්‍රියාමාර්ග ගත යුතු බවත් වෛද්‍ය රයන් පෙන්වාදුන්නේය.
 
එපමණක් නොව සෑම රටක්ම ආසාදිතයන් හඳුනා ගැනීම, ආසාදිතයන් නිරාවරණය වූ හෝ ආසාදිතයන් ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම, ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිගින් දිගටම කිරීම යනාදි ක්‍රියාමාර්ග අඛණ්ඩව මෙන්ම දැඩිව කරගෙන යා යුතු බව ද ඔහු කීවේය. ඒ තුළින් ඉතා ඉක්මනින් වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වීම වළක්වා ගත හැකි බව ද ඔහු තවදුරටත් කීවේය.
 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2020 18:32