April 23, 2024

'මුලතිව් පන්සල ඉවත් කරන්න' - TNA මන්ත්‍රීගෙන් තර්ජන

මුලතිව් කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තමන්ට එම විහාරස්ථානයෙන් පිටව යන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු තර්ජනය කළ බවට එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් පොලිසියට පැමිණිලි කොට තිබේ.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් පවසන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ තර්ජන වලින් පසුව කෝකිලායි සම්බෝධි විහාරස්ථානය අයත් ඉඩම වෙන පිරිසකට අයිති බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ විශාල පිරිසක් විහාරස්ථානය ඉවත් කළ යුතු බවට බලපෑම් සිදුකරන බවත් උතුරු පළාත් සභාව තුළ ද ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කොටගෙන ඇති බවත්ය.

නමුත් විහාරස්ථානය පවත්වා ගෙන යන ඉඩම මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමන් වහන්සේට බලපත්‍රයක් මගින් ලබාදී ඇති බව පැවසූ ගුණරතන හිමියෝ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනු කොට කෙටි කාලයකින් එම නඩුව ඉල්ලා අස්කරගත් බවද කියා සිටියේය.

තමන් වහන්සේ 2009 වර්ෂයේදී මුලතිව් කෝකිලායි පළාතට මුලින්ම වැඩම කළේ කෝකිලායි සිංහල පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට බව පවසන විහාරාධිපති හිමියන් ඒ අතරතුර පළාතේ ආරක්ෂක අංශ වල මෙන්ම කෝකිලායි ධීවර ගම්මානයේ වැසියන්ගේ ආගමික වතාවත් ඉටුකළ බවද සදහන් කළේය.

විහාරස්ථානය ඉදි කිරීමෙන් පසුව එහි පෙරපාසලක් සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කොට පළාතේ සිංහල සහ දෙමළ දරුවන්ට අධය්‍යාපනය ලබාදෙන අතරතුර දෙපිරිස අතර සහජීවනය හා එකමුතුකම ද භාෂා ඥාණය ද දියුණු කරවීමට කටයුතු කරගෙන යන බවද උන්වහන්සේ පවසයි.

පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමත් ඔවුන්ට සාධාරණයක් ඉටුකොට දීමට උත්සහ කිරීමත් දෙමළ දරුවන්ට විහාරස්ථානය හරහා ආධාර සපයාදීමත් නිසා දෙමළ සන්ධානයේ දේශපාලනඥයින් එම ස්ථානය කෙරෙහි වෛරයෙන් පසුවන නිසා එය ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටී.

විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ බව කියන උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් කිසදු අවස්ථාවක විහාරාධිපති හිමියන්ට තර්ජනය නොකළ බවයි.

අවස්ථා කිහිපයකදී තමන් එහි ගියත් විහාරස්ථානයේ හාමුදුරුවන් නොසිටි බව සඳහන් කළ මන්ත්‍රීවරයා විහාරස්ථානය ඉදි කොට ඇත්තේ පෞද්ගලික ඉඩමක නිසා එය ඉවත් කළ යුතුය යන මතයේ තමන් තවමත් සිටින බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ මුලතිව් කෝකිලායි පළාතේ ධීවර ජනතාවගෙන් බහුතරය ක්‍රිස්තියානි භක්තිකයින් බැවින් කෝකිලායි පළාතට බෞද්ධ විහාරස්ථානයක අවශ්‍යතාවක් නොමැති බවයි.

ඡායාරූප පහතින්.

දිනසේන රතුගමගේ


Rate this item
(0 votes)
Last modified on Saturday, 06 August 2016 10:34