April 20, 2024

ඉන්ධන අර්බුධය යළි උඩු දුවයි -ජනතාව යළි දිගු තෙල් පෝලිම්වල

මේ වන විට යළි දිගු ඉන්ධන පෝලිම් රට පුරා දක්නට තිබෙන බව ඒෂියන් මිරර් අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල විශාල ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයක් වසා දමා ඇති අතර ඇතැම් ඉන්ධන හල්වල ඉන්ධන නොමැති වුණත් කිලෝමීටර් ගණනාවකට දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ඊයේ රාත්‍රිය වන විටත් කොළඹ අවට කිසිදු ඉන්ධන හලක ඉන්ධන නොතිබූ අතර ඉන්ධන තොග ලැබෙන තුරු ඉන්ධන හල් වසා දමා තිබෙන අයුරුද දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් දෛනික රථ වාහන කටයුතු සිදු කරන රියදුරන් මෙන්ම පොදු මහජනතාව ද තමන්ගේ කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

විශේෂයෙන් කුලී ත්‍රිරෝද රථ රියදුරන්, මගී ප්‍රවාහන බස් රථ රියදුරන් සහ ප්‍රවාහන කටයුතු වල යෙදෙන රියදුරන් ද මේ වන විට දිගු පෝලිම්වල රැදී සිටීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු ද අඩාල වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒෂියන් මිරර් කළ සොයා බැලීමකදී මේ වන විටත් හෝමාගම , කොට්ටාව, මහරගම සහ නුගේගොඩ ඇතුළු කොළඹ තදාසන්න ප්‍රදේශ ගණනාවකම ඉන්ධන හල් වසා දමා ඇති අයුරු දක්නට ලැබුණා.

මේ අතර පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබුණා.

ඒ අනුව යළි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව එම සංගමය පැවසුවා.

කෙසේවෙතත් අප කළ සොයාබැලීමකදී අනාවරණය වුණේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු යථා තත්ත්වයට පත්ව නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර සති කිහිපයකට පසු හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (02) ලද භූමිතෙල් ලිටර් 6600 මිලදී ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල අසල සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් වුණා.

හැටන් ප්‍රදේශයේ පවතින උග්‍ර ගෑස් හිගයත් සමග භූමිතෙල් මිලදී ගැනිමට මෙසේ තමන් පෝලිම් වල රැදි සිටින බවයි පාරිභෝගිකයන් කියා සිටියේ.

භූමිතෙල් ලබා ගැනිමට පෝලිමේ රැදි සිටි පාරිභෝගිකයන්ට රු.500 ක භූමිතෙල් නිකුත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණා.

මේ වන විට දිගු ගෑස් පෝලිම් ද දක්නට ලැබෙනවා.

ඒ හේතුවෙන් ද නිවසේ දෛනික කටයුතු කර ගැනීමට නොහැකි ජනතාවත්, ආපන ශාලා ඇතුළු ගෑස් භාවිතයෙන් ව්‍යාපාර සිදු කරන ව්‍යාපාරිකයන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

Rate this item
(0 votes)