April 25, 2024

ඉල්ලා අස්වූ කැබිනට් ඇමති දෙලොවක් අතර: පක්ෂයට පිටුපාන ලකුණු

ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා දෙලොවක් අතර සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එය යළි ඇමති ධූරයක් ලබා ගැනීම සම්බන්ධයෙන්.

ශ්‍රීලනිප ඇමති ධුර

නිමල් සිරිපාල ද සිල්වා මහතාව ඉල්ලා අස් වූ කැබිනට් ඇමති ධුරයට නම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

ඒ ඔහු එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නිසා.

එහෙත් පසුගිය කාලයේ ඇතිවූ දේශපාලන අර්බුද වලදී ඇමති ධූර අත්හැරීම සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප නායකත්වය ගත් තීන්දු වලට නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟතාවය දැක්වූයේ නැහැ.

දිගටම සිටි ස්ථාවරය

ඔහු සිටියේ දිගටම ඇමතිධූර වල රැඳී සිටිය යුතුයි යන මතයේ.

එහෙත් ශ්‍රී.ල.නි පය නියෝජනය කරන අන් කැබිනට් ඇමතිවරයා වන මහින්ද අමරවීර මහතා ඕනෑම අවස්ථාවක සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානමින් සිටියා.

යලිත් ආණ්ඩුවේ ඇමතිධුර ලබා නොගැනීමටත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමටත් මේ වන විට ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව තීරණය කර අවසන්.

යළි ඇමතිකමට

එහෙත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ මතයට පිටින් යමින් යළිත් ඇමතිධූරයක් බාර ගැනීමට ඉඩ කඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිය දේශපාලන ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය ලගා වී ඇති ඔහු ඒ ගැන සලකා එම තීරණය ගනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

නිමල් සිරිපාල ද සිල්වා මහතා පමණක් නොව දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සිය ඇමති ධුරවලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් අතර සිටියා.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමග මේ වන විට දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද සිය රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිවරයා වෙත ලබා ලබාදී අවසන්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 05 April 2022 08:26