March 29, 2024

ජනපතිගේ ඉල්ලීමට සජිත් - අනුර උත්තර දෙයි

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(04) විවෘත ආරාධනාවක් සිදුකළා.

සමගී ජන බලවේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හෝ පාලනයක් පිහිටුවීමට කටයුතු නොකරන බවයි. 

දැන් කළ යුතුව ඇත්තේ එක මොහොතක් නෑර ආණ්ඩුව පලවා හැරීම බවත් ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

තවද දූෂිත ආණ්ඩුව සමග කරන ඩීල් දේශපාලනය කිසිවිටෙකත් සමගි ජනබලවේගයෙන් සිදු නොවන බවත් යම් යම් බංකොලොත් කණ්ඩායම් ව්‍යාජ මත සමාජගත කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටයේ ජනාධිපතිවරයාට රටේ මහජනතාව ගෙදර යන්නැයි කියා බලකරමින් සිටින බවයි.

ඔහුගේ ඉල්ලීම පිළිගෙන අන්තර්කාලින රජයක් පිහිටුවීමට කිසිදු අයුරකින් සිය පක්ෂය ඉදිරිපත් නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ.

Rate this item
(2 votes)
Last modified on Monday, 04 April 2022 18:13