April 16, 2024

කොළඹ විශ්ව විද්‍යා‍ලය අභ්‍යවකාශයට යයි

අලුතින් සොයාගන්නා ලද ග්‍රහකයක් කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා.

"කලම්බුනිලංකා - Colombounilanka" යනුවෙන් නම් කර ඇති මෙම ග්‍රහකය මුල්වරට සොයාගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ආචාර්ය නලින් සමරසිංහ හා ප්‍රකට තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර්ය.

ඇමරිකා එක්සත් ජනදපයේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට්පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී ඔවුන් මෙම ග්‍රහකය හඳුනාගෙන තිබෙනවා.

අලුතෙන් සොයාගත් ග්‍රහකයක් නම්කිරීම ද දැඩි මාර්ගෝපදේශ යටතේ සිදුවන අතර ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය එම මාර්ගෝපදේශවලට අනුකූලව  "Colombounilanka" ලෙස නව ග්‍රහකය නම් කර තිබෙනවා.

විද්‍යා හා මානවශාස්ත්‍ර අධ්‍යාපනයෙහි ශත සාංවත්සරය ද ඉකුත් දා සැමරූ කොළඹ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුකරන ලද දැවැන්ත මෙහෙවරට ගෞරවයක් වශයෙන්  "Colombounilanka" ලෙස මෙම ග්‍රහකය නම් කිරීමට තීරණය කළ බව මෙම ග්‍රහකය නම්කිරීම සඳහා මූලිකත්වය ගත් ආචාර්ය නලින් සමරසිංහ මහතා පැවසුවා. 

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තාරකා විද්‍යාඥයකුට තමන් විසින් සොයාගන්නා ලද ග්‍රහකයක් නම්කිරීමට ලැබුණු පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.

ලෝකයේ විශ්වවිද්‍යාල වෙනුවෙන් නම් කර ඇති ග්‍රහක ඉතා අඩු බව ද වාර්තා වනවා.

"Colombounilanka" යනු කිලෝමීටර් 1 - 2 අතර ප්‍රමාණයෙන් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය කලාපයේ පවතින ග්‍රහකයක්.

මෙම ග්‍රහකය ඉතා තියුණු දූරදර්ශකයක් මගින් නිරීක්ෂණය කළහැකියි.

Rate this item
(1 Vote)