March 29, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එයි - හිටපු ජනපති මෛත්‍රීට නිල නිවසින් යන්න වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීම වළක්වාලමින් වග උත්තරකරුවන් වෙත තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා.

එම තහනම් නියෝග අද දින සිට සති හතරකින් පසුව ක්‍රියාත්මක වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ.

මෙම අතුරු නියෝග පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බව ද අධිකරණය සඳහන් කළා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අදාළ නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සඳහන් කරමිනුයි අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 18 වනදා කැඳවීමට අධිකරණය නියම කළා.

Rate this item
(5 votes)